> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ස්මාර්ට් සිතියමේ ලංකාගමනය
- URL: https://chanuka.me/apps-by-srilankan-developers/
- Published: 2019-01-18T06:26:52.000Z
- Updated: 2019-01-18T06:26:52.000Z
- Description: අද වන විට smartphone එකක් කියන්නෙ ඕනෑම කෙනෙකුගේ අතේ රැඳෙන උපාංගයක්. ඒ වෙනුවෙන් නිර්මාණය වෙන අපේ රටේ යෙදුම් (apps) ගැන තමයි මේ.
- Author: Chanuka Nadun
- Tags: ඇප්, android, google, srilanka, youtube, #roar-archive, Roar Archive

ස්මාර්ට් උපාංග එක්ක දිනෙන් දින දියුණුවෙන කාලයක ස්මාර්ට් උපාංග සඳහා apps නිර්මාණය කරන developersලා ලෝකය පුරා ම ඉන්නවා. ඒ ඇතැම් apps හරහා අපේ දෛනික කටයුතු පහසුකර ගන්න අපට අවස්ථාව ලැබෙනවා. අද වෙනකොට ලංකාවෙත් මෙවැනි app නිර්මාණය කරන දක්ෂ ඩිවලොපර්ස්ලා විශාල පිරිසක් ඉන්නවා. මේ ලිපිය හරහා ඔවුන් නිර්මාණය කරන ලද ලංකාවේ බොහෝදෙනෙකු භාවිතා කරන apps කිහිපයක් පිළිබඳව යි මේ.

## **Helakuru – හෙළකුරු**

ලංකාවේ වැඩියෙන් ම භාවිතා වෙන app එක මෙයයි කිව්වොත් නිවැරදි යි. විශේෂයෙන් ම සිංහලෙන් smart උපාංගයක type කරනවා නම්, ඔබ මේ app එක අනිවාර්යෙන් ම භාවිතා කරලා ඇති. මිලියන 5කට අධික පරිශීලකයන් මේ android යෙදුම භාවිත කරනවා. [Bhasha](https://www.bhasha.lk/?ref=chanuka.me) ආයතනය අපි හඳුනාගන්නෙත් හෙළකුරු නිසාවෙන් ම යි. 2019 දී භාෂා ආයතනයට වසර 8ක් සපිරෙනවා. ඒ වගේ ම පසුගිය වසරේ දී ඔවුන් හෙළකුරු පරිගණක මෘදුකාංගයක් ලෙසින් ද නිකුත් කළා. ඒ, පරිගණකය හරහා පහසුවෙන් සිංහල type කිරීමට පහසුකම් සපයමිනුයි. අද වෙද්දී [Dhanika Perera](https://www.facebook.com/dhanikakperera) ඇතුළු භාෂා කණ්ඩායම [payhere](https://www.payhere/?ref=chanuka.me) නමින් අන්තර්ජාතික ව ගෙවීම් සිදුකිරීමට සහාය දක්වන ශ්‍රි ලාංකීය payment gateway එකක් වගේ ම හපන් නමින් කුඩා දරුවන්ට පහසුවෙන් අකුරු හුරු කරවන app එකකුත් නිර්මාණය කර තිබෙනවා. එපමණක් නොවේ, මේ ආයතනය ජාතික ව වගේ ම ජාත්‍යන්තර වශයෙන් පවා ඇගයීමට ලක් වූ සමාගමක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. [android](https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&ref=chanuka.me) සහ [ios](https://itunes.apple.com/lk/app/helakuru-sinhala-keyboard/id1012390370?mt=8&ref=chanuka.me) වෙත මෙම යෙදුම download කරගන්න පුළුවන්.

## **RDMNS- රජයේ දුම්රිය මඟීන්ගේ නිල සමූහය**

ඔබ දුම්රියේ ගමන් කරන මඟියෙකු නම් අනිවාර්යෙන් ම ඔබ සතු ව තිබිය යුතු ම APP එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. රජයේ දුම්රිය මඟීන්ගේ නිල සමූහය වුණාට ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ රජයේ කිසිඳු සහායක් නොමැතිව යි. ඔවුන්ගේ කණ්ඩායමේ අයගේ පෞද්ගලික මුල්‍ය ප්‍රතිපාදන ඔස්සේ අතිවිශාල සේවයක් කරන පිරිසක් ලෙසින් ඔවුන්ව හඳුන්වන්න පුළුවන්. [android ](https://play.google.com/store/apps/details?id=com.rdmns24.chamiapps.rdmns24live&ref=chanuka.me) සහ [ios ](https://itunes.apple.com/lk/app/rdmns-lk/id1434577530?mt=8&ref=chanuka.me) වෙත මේ යෙදුම download කර ගැනීමට හැකියාව තියෙනවා. මේ කටයුතු සියල්ල ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ [facebook සමුහය](https://www.facebook.com/groups/RDMNS/) තුළින්. 2016 වසරේ ඇරඹුණු එය සමග, මේ වෙද්දී සාමාජිකයන් 69,000කට ආසන්න පිරිසක් එකතුවෙලා ඉන්නවා. දුම්රිය තොරතුරු පමණක් ම නෙමෙයි, ඔවුන්ගේ තවත් සමාජ සත්කාරයන් පිළිබඳව වගේ ම තව බෝහොමයක් දේවල් [rdmns.lk](http://rdmns.lk/?ref=chanuka.me) වෙබ් අඩවිය හරහාත් ඔබට දැනගන්න පුළුවන්.

## **THURU- තුරු**

app එකකින් ගස් හිටවන්න පුළුවන් ද? ගස් හිටවන්න විශාල පිරිසක් යොමු කරවපු ස්මාර්ට් යෙදුමක් තමයි “තුරු” කියන්නේ. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ 2020 අවසානයේ දී ගස් මිලියන 2ක් සිටවන්න. ගස්වලට ආදරේ කරන ඔබටත් පුළුවන් මේ යෙදුම [android](https://play.google.com/store/apps/details?id=com.inovaitsys.mythuru&ref=chanuka.me) සහ [ios](https://itunes.apple.com/us/app/thuru/id1231315533?ls=1&mt=8&ref=chanuka.me) වෙත download කරගන්න. මේ වෙද්දී විශාල වශයෙන් විනාශ වන ලංකාවේ වන ආවරණය ආරක්ෂා කර ගැනීමට මොවුන් දරන ප්‍රයත්නය අගය කළ යුතු ම යි. තවත් සංවිධානයන් ගණනාවක් සමගින් සහයෝගයෙන් ඔවුන් මේ යත්න දරන්නේ අනාගත පරපුර වෙනුවෙනුයි. [thuru.lk](https://thuru.lk/?ref=chanuka.me) වෙබ් අඩවිය හරහා ඔබටත් මොවුන් කරන සමාජ සත්කාරයන් සමග එකතු වෙන්න හැකියාව තියෙනවා. 

## **SLTC- Sri Lankan Translation Community App**

පසුගිය වසරේ සමාජ ජාල තහනමකට ලක් වූ අවස්ථාව ඔබට මතක ඇති. ඒ අවස්ථාවේ විශාල වශයෙන් ලංකාවේ සමාජ ජාලයක අවශ්‍යතාව අපට දැනුණා. ඒ අඩුව පුරවන්න ලංකාවේ සමාජ ජාලයන් කිහිපයක් ම බිහිවුණා. SLTC app එක පිළිබඳවත් වැඩිපුර ම කතාබහට ලක්වෙන්නේ ඒ කාලයේ දී ම යි. දැනට [android ](https://play.google.com/store/apps/details?id=sswsoft.srilankatranslationcommunity&ref=chanuka.me)වෙත මේ යෙදුම නිකුත් කර අවසන්. ios යෙදුමත් ඉක්මනින් නිකුත් කරන්නයි ඔවුන්ගේ සුදානම. මේ යෙදුම නිර්මාණය කළ පිරිස ඉතා ම විශේෂ යි. ඔවුන් තමයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහය facebook, whatsapp සිංහලෙන් භාවිත කළ හැකි ලෙස පරිවර්තනය කරන්නට මුලිකත්වය අරගෙන කටයුතු කරපු පිරිස ලෙසින් ඔවුන්ව හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි skype, vlc, kmplayer වැනි මෘදුකාංග සඳහාත් සිංහල ඇතුළත් කරන්නට මේ සමුහයේ සාමාජිකයන් සමත් වුණා.

![](https://chanuka.me/content/images/2026/10/apps-by-srilankan-developers--4.png)

Sri Lankan Translation Community App (ලංකාවේ සමාජ ජාලය)

## **Sinhala Stickers for WhatsApp**

2018 නොවැම්බර් මාසයේ whatsapp සඳහා stickers යැවීමේ පහසුකම ලබා දුන්නා. ඒ සමග ම වගේ ලංකාවේ අපට සමීප වන විදිහට සිංහල භාෂාවෙන් Sinhala Stickers for WhatsApp නිකුත් කරන්න [nebuloapps.com](https://www.nebuloapps.com/?ref=chanuka.me) සමත් වුණා. මේ වෙනකොට 113,000කට අධික downloads ප්‍රමාණයක් සහිත app එකක් ලෙසින් මෙය හඳුන්වන්න පුළුවන්. ඒ වගේ ම නිතර ම අලුතෙන් sticker එකතු වෙන app එකක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. දැනට android වෙත නිකුත් කර තිබෙන මෙම යෙදුම ඉක්මනින් ම ios වෙතත් නිකුත් කරන්නට ඔවුන් සූදානම්.

![](https://chanuka.me/content/images/2026/10/apps-by-srilankan-developers--6.jpg)

Sinhala Stickers for WhatsApp

## **Sinhala Dictionary Offline සහ Sinhala Tamil English Lexicon**

1,000,000+ downloads ප්‍රමාණයක් තිබෙන, එදිනෙදා ජිවිතයේ ඕනෑම කෙනෙකුට වැදගත් විය හැකි Dictionary app එකක් ලෙස [Sinhala Dictionary Offline](https://play.google.com/store/apps/details?id=sachith.com.dictionary.offline&ref=chanuka.me) හඳුන්වන්න පුළුවන්. මේ යෙදුම සඳහා වැඩි ඉඩක් නොගන්නා නිසා ම පහසුවෙන් දුරකතනයේ තියාගන්නත් හැකියාව තියෙනවා. මේ app එක develop කරපු [Sachith Dassanayake](https://www.sachith.co.uk/sinhaladictionaryandroid/?ref=chanuka.me) ම තමයි [Sinhala Tamil English Lexicon](https://play.google.com/store/apps/details?id=sachith.com.projects.dictionary&ref=chanuka.me) app එක නිර්මාණය කරන්නෙත්. ඒ සඳහාත් 100000+ downloads ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. [android ](https://play.google.com/store/apps/developer?id=Sachith+Dassanayake&ref=chanuka.me)වගේ ම [ios ](https://itunes.apple.com/lk/developer/sachith-dassanayake/id1099631232?mt=8&ref=chanuka.me)සඳහාත් Sinhala Dictionary Offline app එක සහාය දක්වනවා.

## **ICT Guru**

තොරතුරු තාක්ෂණ විෂයය ලංකාවේ පාසැල් විෂයය නිර්දේශයට අලුතෙන් ම එකතු වුණ විෂයයක්. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වගේ ම account එකක් හදාගෙන marking schemes, notes වගේ දේවලුත් හොයාගන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා. එමෙන්ම මෙහි තියෙන live chatting option එක් නිසාවෙන් අනිත් usersලා එක්ක තමගේ පිළිතුරු ගැන වගේ ම විවිධ විෂයය කරුණු බෙදා ගන්නත් මේ හරහා අවස්ථාව ලැබෙනවා. දැනට

මෙහි[ ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිකුත් කර තිබෙනවා](https://play.google.com/store/apps/details?id=com.ictguru.venusha&hl=en%5FUS&ref=chanuka.me). online quize වගේ දේවල් හරහා ඔබේ දැනුම මැන බලන්නත් හැකියාව තියෙනවා.

ඔබත් මෙවැනි යෙදුම් ගැන දන්නවා නම් අපට කියන්න අමතක කරන්න එපා. පහළින් comment එකක් විදිහට විස්තර එකතු කරන්න. මීළඟ ලිපියට අපි හැකි පමණින් ඒවාත් එකතු කරන්නම්.