> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Facebook හදිසි බිඳවැටීම පිටුපස කුමන්ත්‍රණයක්?
- URL: https://chanuka.me/conspiracy-behind-facebook-crash/
- Published: 2021-10-06T06:09:29.000Z
- Updated: 2021-10-06T06:09:29.000Z
- Description: මෙතෙක් සිදුවූ විශාලත ම Facebook outage එක එසේ නැති නම් බිඳ වැටීම පසුගිය ඔක්තෝබර් 4 වැනිදා සිදු වුණා. මේ බිඳ වැටීම පිළිබඳ ව විවිධාකාර මත අන්තර්ජාලය පුරාවට පැතිරෙන්නට ගත වුණේ ඉතාම සුළු වෙලාවක්.
- Author: Chanuka Nadun
- Tags: ගැජට්, facebook, instagram, Mark Zuckerberg, Telegram, twitter, whatsapp, #roar-archive, Roar Archive

පසුගිය ඔක්තෝම්බර් 4 වැනිදා මුළු ලෝකයට ම පාහේ බලපාන පරිදි මෙතෙක් සිදුවූ විශාලත ම Facebook outage එක එසේ නැති නම් බිඳ වැටීම සිදු වුණා. අඛණ්ඩව පැය 6ක පමණ කාලයක් තිස්සේ පැවති මෙම outage එක නිසාවෙන් ලොව පුරා බිලියන ගණනක් Facebook සමාජ ජාලය සහ ඒ ආශ්‍රිත සේවා භාවිත කරන පරිශීලකයන්ට ගැටලු පැන නැගුණා. 2019 පසුව සිදුවූ විශාලත ම බිඳවැටීම ලෙසයි මෙය සැලකෙන්නේ.

ඒ පැය කිහිපයට පමණක් Facebook ආයතනය වෙත අදාළ සේවා භාවිත කිරීමට ඇති නොහැකියාව පිළිබඳ ව පැමිණිලි මිලියන 10.6 ක් පමණ වාර්තා වී තිබුණා. ඒවගේම මේ හදිසියේ සිදුවූ විශාල බිඳ වැටීම පිළිබඳ ව විවිධාකාර මත අන්තර්ජාලය පුරාවට පැතිරෙන්නට ගත වුණේ ඉතාම සුළු වෙලාවක්. පැන්ඩෝරා පත්‍රිකා, Facebook Whistleblower කෙනෙක් අනාවරණය කළ ආන්දෝලනාත්මක තොරතුරු මෙයට හේතු ව ඇති බවට බොහෝ දෙනකු මත පළ කරන්නට පටන් ගත්තා.

![](https://chanuka.me/content/images/2026/10/conspiracy-behind-facebook-crash--1.jpg)

THEY LIVE – CONSUME යන නමින් Hal Hefner නම් කලාකරුවාගේ සිතුවමක් – imgur.com

ශ්‍රී ලංකා වේලාවෙන් පසුගිය 4 වැනිදා රාත්‍රි 9.30 පමණ ඇරඹි මෙම ගැටලුකාරී තත්ත්වය පසුදා පහන්වන තුරුම Facebook ආයතනය සතු සේවා ගණනාවකට බලපෑම් එල්ල කළා. Facebook, Whatsapp, Instagram, virtual reality arm, Oculus වැනි සේවා රැසක් අකර්මණ්‍ය කරමින් විනාඩි කිහිපයක් ඇතුළත Facebook සමාජ ජාලය අන්තර්ජාලයෙන් අතුරුදහන් වුණා.

ඒ විතරක් නෙමෙයි Facebook සමාජ ජාලය ඔස්සේ විවිධ පරිගණක ක්‍රීඩා සඳහා, වෙළඳ වෙබ් අඩවි සඳහා වැනි සේවා රැසකට log වීමේ හැකියාව ද අඩපණ වෙන්නට පටන් ගත්තා. ලෝකය පුරාවට මේ සිදුවීම විශාල කතාබහක් වගේ ම Facebook සමාගම කොතරම් දුරකට අපේ ජීවිතයට බලපෑම් එල්ල කරනවා ද යන්න පිළිබඳ ව කතාබහක් ගොඩනගන්න මේ outage එක සමත් වුණා.

## සේවා ක්‍රියාවිරහිතව ගතවුණු පැය 6ක්

සේවා ක්‍රියාවිරහිතව ගතවුණු පැය 6ක කාලයට පමණක් Facebook ආයතනයේ හිමිකරු වන Mark Zuckerberg ගේ වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 121.6 දක්වා පහත වැටුණේ [ඩොලර් බිලියන 06ක දැඩි පාඩුවක් ](https://www.bloomberg.com/billionaires/?ref=chanuka.me)ඔහුට අත්කර දෙමින්. Facebook සමාගමේ කොටස් වෙළඳපොළ අගයත් ඊට සාපේක්ෂව 5% කින් පමණ පහත වැටුණා. නැවත තම සමාගම යටතේ ක්‍රියාත්මක වෙන සේවා යථා තත්වයට පත් වූ වහා ම Mark Zuckerberg සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පාරිශීලකයන්ගෙන් සමාව අයැද සිටියා.

පරිශීලකයන්, දුරස්ථ ව සිටින ළබැඳියන් සමඟ සම්බන්ධතා පවත්වා ගන්නට තම සේවාව මත කොයිතරම් නම් යැපෙනවා ද යන්න ඔහු දන්නා බවත්, සියලු සේවා යථා තත්වයට පත් වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කර තිබුණා. ඊට සමාන්තර ව Facebook සමාගම නිල Twitter ගිණුම තුළිනුත් පරිශීලකයන්ගෙන් සිදුවූ දෝෂය පිළිබඳ ව කනගාටුව පළ කළා.

කොහොම වුණත් මේ බිඳ වැටීමෙන් Twitter,Telegram සහ Signal වැනි සේවා වෙත නව පරිශීලකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය වුණා. Telegram වෙත වාර්තාගත ලෙස නව පරිශීලකයන් මිලියන 70ක්, Signal සේවාව වෙත නව පරිශීලකයන් මිලියනයක් පමණ එක් වුණා. මේ නව පරිශීලකයන් එක් වීම සහ හදිසි පරිශීලකයන් වැඩිවීම Twitter,Telegram යන සේවා දෙකටත් ඉතා තදින් බලපෑවා. මේ සේවා දෙකම දැනෙන මට්ටමට මන්දගාමී වෙන්නටත්, එහි සමහර options වැඩ නොකරන්නටත් මෙය හේතු වුණා.

![](https://chanuka.me/content/images/2026/10/conspiracy-behind-facebook-crash--2.jpg)

Mark Zuckerberg සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පාරිශීලකයන්ගෙන් සමාව අයැද සිටියා -fb.com

## **Technically මොකද වුණේ?** 

Facebook සමාගමේ [DNS පද්ධතියේ ](https://technews.lk/techroom/what-is-dns-and-how-it-works/?ref=chanuka.me)හටගත් දෝෂයක් මේ outage එකට හේතුව බව තමයි ඔවුන්ගේ නිල වාර්තාවේ නම් සඳහන් වෙන්නේ. මේ DNS ගැටලුව නිසා Facebook .com යන වෙබ් ලිපිනයට අදාළ IP Address ලබාගැනීමට අනෙකුත් DNSවලට හැකි වෙන්නේ නැහැ. ඒවගේ ම මේ ගැටලුව නිසා [Border Gateway Protocol ](https://technews.lk/facebook-outage-is-over-but-what-exactly-happened/?ref=chanuka.me)එක තුළ Facebook network එක පිළිබඳ ව ඇති entries වෙනස් වීමකට ලක් ව තිබෙනවා.

මේ නිසා අප අන්තර්ජාලය භාවිත කරන ISP වරුන්ට Facebook සමාජ ජාලය සොයාගන්නට හැකි වෙන්නේ නැහැ. අවසානයේ දී ඔබේ වෙබ් බ්‍රව්සර් එක හරහා ඔබට ඒ සේවාව වෙත පිවිසෙන්න හැකි වෙන්නේත් නැහැ. මේ බිඳ වැටීම Facebook ආශ්‍රිත ව ක්‍රියාත්මක වූ වෙළඳාම් රැසකට බලපෑම් එල්ල කළා.

## **Facebook whistleblower Frances Haugen ගේ ආන්දෝලනාත්මක හෙළිදරව්** 

ඔබට මතක ඇති පෙර ලිපියකින් අපි Facebook සමාගම යටතේ පවතින [Instagram සේවාව තරුණියන්ට අහිතකර ලෙස බලපාන ආකාරය](https://chanuka.me/is-instagram-harmful-to-young-women/) ඔබට ගෙන ආවා. The Wall Street Journal සිදු කළ අනාවරණවලින් හෙළිදරව් වුණේ මේ අනිසි බලපෑම් පිළිබඳව සමාගම හොඳින් ම දැන සිටින බව යි. ඒ අනාවරණයන්ට අනුව අප නොදැනුවත්ව ම Facebook සමාගමේ පරීක්ෂණාගාර මීයන් බවට පත් ව තිබෙන ආකාරය අප ඔබට සිංහලෙන් පැහැදිලි කළා.

Facebook සමාගමේ හිටපු Data Scientist කෙනකු වන Frances Haugen මේ කරුණු තහවුරු කරන්නට සහ සමාගමට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරන්නට ජනමාධ්‍ය සහ අමෙරීකානු සෙනෙට් සභාව ඉදිරියට පැමිණියා. AP International News Agency මගින් පවත් වූ 60 Minutes නම් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී යි මේ පිළිබඳව Frances Haugen මුලින් ම කරුණු අනාවරණය කළේ. පහත videoවෙන් දැක්වෙන්නේ ඔහු සෙනෙට් සභිකයන් ඉදිරියේ සාක්ෂි දුන් ආකාරය යි.

මේ Facebook සමාගමට ගෙවෙන්නේ එතරම් යහපත් කාලයක් නොවන බව දැන් නම් සක්සුදක් සේ පැහැදිලි යි. පිට පිට වසර ගණනාවක් තිස්සේ [පරිශීලක දත්ත අනිසි භාවිතය පිළිබඳව කුප්‍රකට ව සිටින Facebook ](https://archive.roar.media/sinhala/search?query=facebook&ref=chanuka.me)ආයතනයට මෙවර මතුවන මේ චෝදනා පෙරට වඩා තීව්‍ර බව තමයි මගේ මතය. 

බිලියන ගණනකගේ ජීවිත එක සැණෙකින් අඩපණ කරන්නට Facebook ජාලයට ඇති හැකියාව පසුගිය [October 4th outage](https://engineering.fb.com/2021/10/05/networking-traffic/outage-details/?ref=chanuka.me) (බිඳ වැටීමෙන්) මුළු ලෝකයේ බිලියන ගණනක් වූ පරිශීලකයන්ට නම් හොඳාකාර ව ම පැහැදිලි වූ බව කිව යුතු යි. ඔබ මේ භාවිත කරන්නේ නොමිලයේ ලබාදෙන වෙන කෙනකුගේ සේවාවක් බවත් ඕනෑම මොහොතක මේ තුළින් ඔබ ලබා ගත්, ළඟා කරගත් සියල්ල නැති ව යා හැකි බවත් ඔබට වැටහෙන්නට ඇති බව [අපගේ ](https://chanukanadun.com/?ref=chanuka.me)විශ්වාසය යි.

මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

[තරුණියන්ට Instagram අහිතකරද?](https://chanuka.me/is-instagram-harmful-to-young-women/)

[ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳව Facebook සමාගමට චෝදනා!](https://chanuka.me/facebook-losing-facial-recognition-privacy-appeal/)

[Facebook අපල කාලය](https://chanuka.me/facebook-company-failed-2018/)

---

**මූලාශ්‍ර:**

- Facebook.com
- Bloomberg.com
- Independent.co.uk
- Theverge.com
- Nytimes.com
- Gizmodo.com
- Theguardian.com
- Cnbc.com
- Techcrunch.com
- Engineering.fb.com