> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Android 10න් 11ට පනී!
- URL: https://chanuka.me/google-android-11-developer-preview-release/
- Published: 2020-02-26T08:03:38.000Z
- Updated: 2026-10-22T15:11:31.000Z
- Description: Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය Android 11 මේ වෙද්දී අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. මේ, ඒ සමග අපට ලැබෙන නව පහසුකම් ගැන යි.
- Author: Chanuka Nadun
- Tags: විශේෂාංග, 2020, 5g, google, security, #roar-archive, Roar Archive

Android සංස්කරණයක් හැඳින්වීම සඳහාම අතුරුපසක නමක්, එහෙම නැති නම් රසකැවිල්ලක නමක් භාවිතා වුණා ඔබට මතක ඇති. නමුත්, නවතම android සංස්කරණය වූ Android 10 සමග මේ සම්ප්‍රදාය වෙනස් වුණා. ඒ පිළිබඳව අපි ඔබව [Qවලින් අවසන් වෙන Android අතුරුපස](https://chanuka.me/evolving-android-brand/) ලිපිය ඔස්සේ දැනුවත් කළා. හැබැයි ඉතින් මේ නව android මෙහෙයුම් පද්ධතිය ගැන පරිශීලකයන් එතරම් ප්‍රසාදයක් දැක්වූ බව නම් පෙනෙන්නට තිබුණේ නැහැ. එහි නැවුම් යමක් අඩංගු නොවුණු බව තමයි ඔවුන්ගේ මතය වුණේ. 

Google සමාගමේ නව android මෙහෙයුම් පද්ධතියක් පිළිබඳව දැනුම් දෙන්නේ ලෝකයේ විශාලතම වගේම වැඩිම ආකර්ෂණයක් දිනාගත් තාක්ෂණික සමුළුව වන Google I/O හි දී යි. ඊට අමතරව නව මෙහෙයුම් පද්ධතියක Preview releases එකක් නිකුත් වෙන්නේ මාර්තු අවසන් සති කිහිපය තුළ තමයි. නමුත්, මෙවර තරමක් කලින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණයේ “Preview releases” එකක් සිදුකරන්න ඔවුන් තීරණය කර තිබෙනවා. බොහෝ දෙනෙක් මේ මෙහෙයුම් පද්ධතිය හැඳින්වීමට “Android R” ලෙස භාවිත කළත්, මේ වෙත නම් යොදා ඇත්තේ Android 11 ලෙස යි. එහි Developer Preview එකක් මේ වෙද්දීත් [android-developers.googleblog.com](https://android-developers.googleblog.com/?ref=chanuka.me) වෙත නිකුත් කර තිබෙනවා. 5G experience එක වැඩි දියුණු කිරීමත් මෙහි එක අරමුණක් බව තමයි දැනගන්නට ලැබෙන්නේ. UI හෝ UX (පරිශීලක අතුරු මුහුණතේ හෝ පරිශීලන අත්දැකීමේ) එතරම් වෙනසක් නොමැති බව තමයි දැකගන්නට ලැබුණේ. කොහොම නමුත්, මෙය තවම පරිශීලකයන් වෙත නිකුත් කළ එකක් නොවන නිසා මෙහි වෙනස්කම් සිදු විය හැකි බව තමයි තාක්ෂණික ලෝකයේ බහුතර මතය. 

මෙම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයට නම් full system එකම manually flash කිරීමට ඔබට සිදුවෙනවා. එම Developer Preview එක මේ වෙද්දී සහාය දක්වන්නේ Pixel 2, 3, 3A,සහ 4 දුරකතන වෙත පමණයි. මේ මෙහෙයුම් පද්ධතියේ මූලික අරමුණු බවට පත් වෙන්නේ 5G bandwidth එක සමග ක්‍රියාත්මක වීමේ හැකියාව සහ නව ට්‍රෙන්ඩ් එක බවට පත්ව තිබෙන foldable screens සහිත දුරකතන වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම යි. ඊට අමතරව Developer Preview එකේ දී අත්හදා බැලෙන පහසුකම් අතරට low-latency video decoding පහසුකමත් ඇතුළත්. Google සමාගමේ ම නවතම Game Streaming සේවාව වන Stadia ඇතුළු Streaming සේවාවන් වෙත අවශ්‍ය කරන විශේෂ HEIF – High Efficiency Image File Format පහසුකමත් Android 11 වෙත ඇතුළත් වෙනවා. ඒ වගේම Google සමාගමේ නවතම [නියුරෝනික ජාල](https://archive.roar.media/sinhala/tech/featured/future-of-ai/?ref=chanuka.me)යේ API එකත් (Application programming interface – යෙදුම් ක්‍රමලේඛ අතුරුමුහුණත) මෙයට අඩංගු යි. ඇපල් සමාගමේ iOS සමගින් එන “ iMessage” පහසුකමට සමාන ක්‍රමවේදයක් Android 11 වෙත ඇතුළත් වෙනවා. මෙය “Conversations” ලෙසින් දැනට නම් ව තිබෙනවා. 

එකී ප්‍රධාන පහසුකම්වලට අමතරව Developer Preview එකෙහි දැකගන්නට ලැබෙන පහසුම් සැකවින් පහතින් ඉදිරිපත් කරන්නම්.

## **Bubbles**

Facebook භාවිත කරන්නෙක් නම්, එහි Messaging Platform එකෙහි ඇති “chat heads” ඔබට මතක ඇති. ඒ පහසුකම අනුකරණය කරමින් මේ නව **Bubbles** පහසුකම නිර්මාණය වෙනවා. Apps කිහිපයක Conversation කිහිපයක් Chat Bubble ලෙස පෙන්වීමට හැකියාව මේ ඔස්සේ ලබා දෙනවා. දැනට නම් මෙම පහසුකම සහාය දක්වන්නේ Google Messaging සඳහා පමණයි. නමුත්, මෙහි අරමුණ වන්නේ අනෙක් Messaging apps සඳහාත් එම පහසුකම ලබාදීම යි.

## **Conversations**

මේ හරහා ඔබට Notifications පෙන්වන කොටසේ වෙනම චැට් කිරීමට හැකියාව ලබා දෙනවා. අනෙක් notificationsවලින් බාධාවක් නොවී Message කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙනවා. 

## **නව App Permissions**

සාමාන්‍යයෙන් අපි install කරන ඕනෑම app එකක් අපේ camera, microphone, සහ location data වැනි දෑ ලබා ගැනීමට අවශ්‍ය නම් Permission ඉල්ලීමක් තිරයේ දර්ශනය කරනවා. ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස බහුතරයක් උපාංගවල පෙන්වන්නේ Permission ලබාදීම හෝ නොදීම යන තෝරාගැනීම් දෙක පමණයි. නමුත්, තාවකාලිකව පමණක් Permission ලබාදීමේ තෝරාගැනීමක් ඔබට මේ නව පහසුකම ඔස්සේ ලැබේවි. 

## **Screen Recording**

Google සමාගමෙන්ම හඳුන්වාදීමට යන Screen recording පහසුකමකුත් මේ නව Android 11 වෙත ඇතුළත්. 

මේ පහසුකම්වලට අමතරව; 

- කාලය අනුව ඉබේම dark mode ක්‍රියාත්මක වීමේ පහසුකම.
- Pixel 4 දුරකතන වෙත Motion Sense gesture පහසුකම.
- ඒ වගේම ඉදිරියේ දී airplane mode ක්‍රියාත්මක කළ විට Bluetooth audio connections වැනි දේ disconnect වීම සිදුනොවේවි.
- නව Screenshot ගැසීමේ ක්‍රමවේදයක් ගැනත් [Xda-developers.com](https://www.xda-developers.com/?ref=chanuka.me) වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

කොහොම වුණත්, මේ හුදෙක් Developer Preview එකක් පමණක් බව අපි මතක තබා ගත යුතු යි. නව android 11 ගැන අපට එළඹෙන මැයි මාසයේ Google I/O හි දී දැනගන්නට ලැබේවි.

---

**මූලාශ්‍ර:**

- Android-developers.googleblog.com
- Theverge.com
- Youtube.com
- Xda-developers.com
- Androidpit.com
- සබැඳි ලිපි:
- [පරිගණක ක්‍රීඩාවල අනාගතය stadia ද?](https://roar.media/sinhala/tech/reports/google-stadia-is-a-fail/?ref=chanuka.me)
- [Qවලින් අවසන් වෙන Android අතුරුපස](https://roar.media/sinhala/tech/reports/evolving-android-brand/?ref=chanuka.me)
- [කෘත්‍රීම බුද්ධියේ නව මානයක් විවෘත කළ නියුරෝනික ජාල](https://roar.media/sinhala/tech/featured/future-of-ai/?ref=chanuka.me)