> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Google Maps වෙත එකතුවුණු අලුත් සේවාවන් ගැන ඔබ දන්නවා ද?
- URL: https://chanuka.me/google-map-new-services/
- Published: 2019-08-01T10:50:49.000Z
- Updated: 2019-08-01T10:50:49.000Z
- Description: Google maps කියන්නේ smart දුරකතනයක්/ පරිගණකයක් තියෙන ඕනෑම කෙනෙකුට නිතර දෙවේලේ සහාය වෙන සේවාවක්. මේ ඒ සේවාව වෙත ලබා දුන්නු අලුත්ම පහසුකම් පිළිබඳව යි.
- Author: Chanuka Nadun
- Tags: ඇප්, google, srilanka, #roar-archive, Roar Archive

Google maps කියන්නේ smart දුරකතනයක්/ පරිගණකයක් තියෙන ඕනෑම කෙනෙකුට නිතර දෙවේලේ සහාය වෙන සේවාවක්. දුර ගමනක් යන කෙනෙකුට මේ සේවාව හරහා ගමනාන්තය වෙත යන්න කෙටිම පාර වගේම, මාර්ගයේ තියෙන වාහන තදබදය සහ ගමනාන්තයට ළඟාවීමට ගතවන කාලයත් ආසන්න වශයෙන් දැනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් street view, සහ අවශ්‍ය නම් satellite තාක්ෂණය භාවිතා කරමින් satellite map එකක් වුණත් බලා ගන්න අපට හැකියාව තියෙනවා. මේ කියන්න යන්නේ google map වෙත අලුතින් හඳුන්වාදුන් පහසුකම් හිහිපයක් පිළිබඳව යි.

## **පොදු ප්‍රවාහන සේවාවන්වල මඟී තදබදය පිළිබඳ prediction**

ඔබ ගමන් කිරීමට නියමිත බස් රථය හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන්වල එම මොහොතේ කෙතරම් සෙනඟ සිටීදැ යි යන්න පිළිබඳව prediction එකක් ලබාදීමේ පහසුකමක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා. පසුගිය මාස ගණනාවක් පුරාවට google Maps භාවිතා කරන විවිධ පුද්ගලයන්ගෙන් අදාල තොරතුරු එකතු කරගැනීමට Google ආයතනය කටයුතු කර තිබෙන අතර, මේ වන විට අදාල predictions ලබා දිය හැකි ප්‍රමාණයට දත්ත එකතු කර ඇති බව වාර්තා වෙනවා. දැනට නගර 200ක පමණ මේ පහසුකම ක්‍රියාත්මක වෙන බව දැනගන්නට ලැබෙනවා. 

![](https://chanuka.me/content/images/2026/10/google-map-new-services--1-01.jpg)

පොදු ප්‍රවාහන සේවාවන්වල සෙනඟ පිළිබඳ prediction එකක්- Theverge.com

කෙසේවෙතත් මේ මඟින් බස් රථයේ සිටින සැබෑ මඟීන්ගේ සංඛ්‍යාව හරි ආකාරයෙන් ගණනය කිරීමක් නොවන අතර, පසුගිය කාලසීමාවක දත්ත පදනම් කරගනිමින් ඊට අදාල අනාවැකියක් පමණක් සපයන බව මතක තබාගත යුතු වෙනවා.

## **Google Transit සේවාව ශ්‍රී ලංකාවටත්** 

අපට අවශ්‍ය ස්ථානයට ගමන් කිරීමට සෘජුව භාවිතා කළ හැකි බස්/ දුම්රිය වාර ගැන, සහ ඊට අදාල ගත වන කාලසීමාවන් ගැන තොරතුරු ලබා දෙන **Google Transit** ලංකාව වෙතත් ලබාදෙන්න google සමාගම කටයුතු කළා. මෙහි විශේෂත්වය වන්නේ අදාල ස්ථානයට ගමන් කළ හැකි වෙනත් මාර්ග සහ ඒ සඳහා බස් කිහිපයක් භාවිතා කරමින් ඉතාමත් ඉක්මණින් ගමන් කළ හැකි ආකාරයන් පවා දැනගැනීමට හැකි වීම යි.

මෙහි තොරතුරු යාවත්කාලීන වීම් සිදු කරන්නේ බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය මඟින් සහ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින්. දැනට බස්නාහිර පළාතේ මේ පහසුකම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් මේ සේවාව වඩාත් නිවැරදිව ක්‍රියාත්මක වීමට නම් ඒවා භාවිත කරන පිරිස වැඩි වීම අනිවාර්යය කාරණයක්.

---

**මූලාශ්‍ර:**

- Techcrunch.com
- Theverge.com
- Technews.lk
- Youtube.com