> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පරිගණක ක්‍රීඩාවල අනාගතය, Stadia අසාර්ථක ද?
- URL: https://chanuka.me/google-stadia-is-a-fail/
- Published: 2019-11-25T10:24:29.000Z
- Updated: 2019-11-25T10:24:29.000Z
- Description: පසුගිය නොවැම්බර් 19 වැනි දින නිල වශයෙන් වෙළඳපොළ වෙත ආ Google Stadia ගැන අහන්න ලැබුණේ, එතරම් හොඳ ආරංචි නම් නෙමෙයි. Stadia Platform එක අසාර්ථක ද?
- Author: Chanuka Nadun
- Tags: ප්‍රවෘත්ති සහ වාර්තාමය, 2019, google, platform, #roar-archive, Roar Archive

පසුගිය මාර්තුවේ දී Google සමාගම Google Stadia සංකල්පය සහ එහි භාවිතාවන් ගැන හඳුන්වාදුන් විට තාක්ෂණික ලෝකය තුළ ඇති වූ hype එක ඔබට මතක ඇති. පසුගිය නොවැම්බර් 19 වැනි දින Stadia නිල වශයෙන් වෙළඳපොළ වෙත මුදා හැරීම සිදුවුණා. නමුත්, එදින පටන් මේ Platform එක ගැන අහන්න ලැබුණේ නම් එතරම් හොඳ කතා නෙමෙයි. Stadia Platform එක Google සමාගමේ අසාර්ථක උත්සාහයක් ද? මේ ලිපියෙන් අපි ඒ ගැන සොයා බලමු. 

## **Stadia ගැන කෙටියෙන්** 

![](https://chanuka.me/content/images/2026/10/google-stadia-is-a-fail--1.png)

Google Stadia හරහා ඔබට පරිගණක ක්‍රීඩාවන් ඔබේ ජංගම දුරකතනය තුළත් ක්‍රීඩා කරන්න පහසුකම් සලසනවා.- theverge.com

cross-platform game streaming සේවාවක් ලෙසින් ක්‍රියාත්මක වෙන Google Stadia හරහා ඔබට පරිගණක ක්‍රීඩාවන් ඔබේ ජංගම දුරකතනය තුළත් ක්‍රීඩා කරන්න පහසුකම් සලසනවා. ඊට අමතරව විවිධ වූ වෙනත් Gaming Platform තුළත් මෙලෙසින් මාරු වෙමින් ක්‍රීඩා කරන්න ඔබට පහසුකම් ලැබෙන බව තමයි googel සමාගම සඳහන් කළේ. සාමාන්‍යයෙන් Game download කිරීමට වැය වෙන අධික Data ප්‍රමාණය සහ ඉතාම ඉහළ පරිගණක පද්ධති අවශ්‍යතා (System Requirement) සහිත පරිගණක ක්‍රීඩා, ක්‍රීඩා කිරීමේ අපහසුතාවයන් මඟහරවා ගැනීමත් stadia සංකල්පයේ ප්‍රධාන අරමුණු අතර වුණා. 

ඊට අමතරව Yotube,Twich,Mixer වැනි Platformවල පරිගණක ක්‍රීඩා Streaming කරන ක්‍රීඩකයන් සමග සජීවීව සම්බන්ධ වෙමින් ක්‍රීඩා කරන්නත් ඉඩ පහසුකම ලබා දෙන්න Stadia හරහා හැකියාව තිබෙනවා. 

## **පරිශීලක මැසිවිලි** 

Stadia “[Founder’s Edition](https://www.theverge.com/2019/11/18/20970297/google-stadia-review-gaming-streaming-cloud-price-specs-features-chrome-pixel?ref=chanuka.me)” හි මිල ඇමරිකානු ඩොලර් 130ක් පමණ වන බව තමයි වාර්තා වුණේ. පසුගිය 19 වැනි දා මෙය නිල වශයෙන් නිකුත් වුවත්, එය මිලට ගත් බොහෝ දෙනෙකුට තවමත් මේ හරහා ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබී නැහැ. ඒ ඔවුන්ගේ ඇතුළත් වීමේ කේතය රැගත් email පණිවුඩය තවමත් නොලැබීම නිසාවෙනුයි. කෙසේ වෙතත්, මේ මැසිවිලිවලට ප්‍රතිචාර දැක්වූ google සමාගම සඳහන් කරන්නේ; තමන් දිනක් හෝ දෙකක් ඇතුළත සියලුම email යවා අවසන් කරන බව යි. එනමුත්, තවමත් එය නොලැබුණු බව සඳහන් කරමින් Twitter සහ Reddit සමාග ජාලාවන්වල post පළ වෙන බව අපට දැකගන්න ලැබුණා. 

![](https://chanuka.me/content/images/2026/10/google-stadia-is-a-fail--2.png)

Chromecast Ultra උපාංගය- theverge.com

තවත් පරිශීලකයන් කොටසක් මැසිවිලි නගන්නට පටන් ගත්තේ Stadia සමග සම්බන්ධ කළ පසු ඔවුන්ගේ [Chromecasts](https://archive.roar.media/sinhala/tech/insights/5-ways-to-make-your-boring-tv-smart/?ref=chanuka.me) උපාංගය අධික ලෙස රත් වීම සහ ඉන් අනතුරුව ක්‍රියා විරහිත වීම සිදුවන බව යි. විශේෂයෙන්ම මේ අකරතැබ්බයට මුහුණ දෙන්නට සිදුව තිබෙන්නේ Chromecast Ultra උපාංගය භාවිත කරන පරිශීලකයන් වෙත බව තමයි මේ වෙද්දී දැනගන්නට ලැබෙන්නේ. එමෙන්ම, මේ පිළිබඳව අප්‍රසාදය පළකරන තවත් පිරිසක් සඳහන් කරන්නේ; ඔවුන් මේ ගැන පුදුමයට පත් නොවන බව යි. වර්තමාන භාවිතයේ ඇති මීට සමාන අනෙක් උපාංග සමග සංසන්දනය කිරීමේ දී Chromecast Ultra එතරම්ම හොඳ උපාංගයක් නොවන බව යි ඔවුන්ගේ මතය. ක්‍රීඩාවන් කෙසේ වෙතත්, TV series එකක් බැලීමේ දී පවා එය අධික ලෙස රත් වීම් සිදුවන බව තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. 

ලබන වසරේ සම්පුර්ණයෙන්ම cloud-based version එක හඳුන්වා දෙන තෙක්, Stadia උපාංගය ඔබට භාවිත කරන්නට හැකි වෙන්නේ Chromecast Ultra එකෙහිම පමණක් වීම නිසාවෙන් මේ ගැටළුව වඩාත් උග්‍ර අතට හැරෙන බව තමයි පරිශීලක මතය. 

![](https://chanuka.me/content/images/2026/10/google-stadia-is-a-fail--3.png)

Twitter ඔස්සේ තම ගැටළුව පිළිබඳව පරිශීලක මැසිවිලි

ඉහත ගැටළුව පැන නොනැගුණු පරිශීලකයන් වෙත තවත් ගැටළුකාරී වාතාවරණයන් වෙත මුහුණ දීමට සිදුව තිබුණා. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා පරිගණක ක්‍රීඩා සිදුකරද්දී ඉතාම අවම latency එකක් තබා ගැනීම වැදගත්. නමුත්, මේ වෙන තෙක් Stadia පරිශීලකයන් වෙත google සමාගම සඳහන් කළ මට්ටමට latency අවම වීමක් නම් දැකගන්නට ලැබී නැහැ. එනිසාවෙන් ක්‍රීඩාවන් හි නිරත වීම සහ ජයග්‍රහණය තරමක් අපහසු බව යි ක්‍රීඩකයන් සඳහන් කරන්නේ. 

ඉහත කිසිදු ගැටළුවකට Google සමාගම හෝ Stadia නිර්මාපකයින් නිල වශයෙන් පිළිතුරු ලබා දී නැහැ. පිළිතුරු කෙසේවෙතත්, තවමත් බොහෝ දෙනෙකුට ඔවුන් Order කළ Stadia උපාංග පවා නොලැබුණු බව යි තාක්ෂණික ලෝකය දෙසින් වාර්තා වෙන්නේ. ඇත්තටම මේ සංකල්පය අසාර්ථක ද? ලංකාව වගේ රටකට මෙය කොතරම් දුරකට ප්‍රායෝගික ද? මේ ගැන ඔබේ අදහස් පහළින් එකතු කරන්නත් අමතක කරන්න එපා. 

---

**මූලාශ්‍ර:**

- Theverge.com
- Thenextweb.com
- Tweaktown.com