> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අන්තර්ජාලය හරහා වෘත්තීය දැනුම ලබා ගනිමු
- URL: https://chanuka.me/in-demand-skills-to-learn-online/
- Published: 2018-12-04T10:42:15.000Z
- Updated: 2018-12-04T10:42:15.000Z
- Description: අන්තර්ජාලය හරහා ම මුදල් උපයන්නට ඔබට පහසුවෙන් ඉගෙන ගත හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ ව යි මේ ලිපිය හරහා කතා කෙරෙන්නේ.
- Author: Chanuka Nadun
- Tags: විස්තර වාර්තා, internet, #roar-archive, Roar Archive

අපි බොහෝ දෙනෙක් ලෝකයේ දියුණුව සමග ගමන් කරමින් සිටින පුද්ගලයින් වුවත්, තවමත් සමාජීය මතයන් යාවත්කාලීන වීමක් බොහෝ විට දක්නට නොලැබේ. තාක්ෂණයේ දියුණුව සමග ලෝකයේ වර්තමානය වන විට රැකියා අවස්ථාවන් ඉතා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙමින් පවතී. youtube සහ වෙබ් අඩවි හරහා ලෝකයේ දැනුම එසැනින් ඔබේ දෝතට ගෙන ඒමට ඇති හැකියාව නිසා, අද වන විට බොහෝ දෙනෙකු අන්තර්ජාලය හරහා ඉගෙන ගැනීමේ කර්තව්‍යයේ නිරත වෙමින් සිටියි. ලංකාව තුළ එතරම් ම ප්‍රසිද්ධ නොවුණත් ලෝකය පුරා බහුතරයක් තමන්ගේ වෘත්තිය පවා සිදු කරන්නේ අන්තර්ජාලය හරහා යි. අද මේ ලිපිය ඔස්සෙ අප කතා බහ කරන්නේ නිවසේ සිට ම ඔබට අන්තර්ජාලය හරහා වැඩි දියුණු කරගත හැකි කුසලතාවයන් සහ රැකියා අවස්ථාවන් පිළිබඳ ව යි.

Freelancer කෙනෙක් ලෙස කටයුතු කිරීමේ දී ඔබට අවශ්‍ය වන කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමට හොඳම මාර්ගය youtube tutorials නැරඹීම යි.

## **කේතකරණය සහ මෘදුකාංග සංවර්ධනය**

අන්තර්ජාලය හරහා මුදල් සෙවීමට පහසුම කුසලතාවයක් වන්නේ කේතකරණය සහ මෘදුකාංග සංවර්ධනය (Coding and software development) යි. ලංකාවේ තොරතුරු තාක්ෂණ විෂයය බොහෝ විට ගුරුවරයාගේ සටහනකට සීමා වේ. කේතකරණයත් බොහෝ විට සටහන්වලට සීමා වේ. නමුත්, ඔබ රැකියාවකට යාමේ දී ඔබට ඒ මට්ටම කෙසේ වත් ප්‍රමාණවත් නොවේ. අමතර අධ්‍යයනය සඳහා විශාල මුදලක් වියදම් කිරීමට සිදු වේ. නමුත් ඔබට අන්තර්ජාලය හරහා තනි ව ඉගෙන ගත හැකි විෂයයක් ලෙස මේ වන විට ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධ කුසලතාවයක් ලෙස කේතකරණය හැඳින්විය හැක. බොහෝ විදේශ විශ්ව විද්‍යාලයන් අද වන විට ඔවුන්ගේ ඉගෙන්වීම් අන්තර්ජාලය හරහා සිදුකරන පාඨමාලා ලෙස නිකුත් කිරීමට ආරම්භ කර ඇත. මුදලක් ගෙවා ඔබට ඒ පාඨමාලා මඟින් ඉගෙන ගැනිම් සහ අදාළ පරික්ෂණයන් සමත් වී අන්තර්ජාතික මට්ටමේ සහතික ලබා ගත හැක.

එමෙන්ම අද වන විට කේතකරණය පිළිබඳ මෙන්ම Web Developing පිළිබඳව ද Khan Academy, Coursera, Udemy වැනි වෙබ් අඩවියකින් ඔබට පහසුවෙන් ඉගෙන ගැනීමට හැකියාව තිබේ. එමෙන්ම, youtube හරහා LearnCode.academy, freecode.org වැනි youtube channel එකකින් ඉගෙනීම ආරම්භ කළ හැක.

![](https://chanuka.me/content/images/2026/10/in-demand-skills-to-learn-online--1.jpg)

අන්තර්ජාලය හරහා තනි ව ඉගෙන ගත හැකි විෂයයක් ලෙස Coding and software development හැඳින්වේ.- freerangestock.com

## **භාෂාවන්**

අද වන විට ලෝකය ම විශ්ව ගම්මානයක් බවට පත් වී හමාරයි. ඒ නිසාවෙන් භාෂාවන්ට හිමි වෙන්නේ ඉතා ම වැදගත් ස්ථානයක්. භාෂාවන් කිහිපයක් ඉගෙන ගැනීම හරහා ඔබට ලෝකය සමග ඉතා පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේ ම අද වන විට ඔබට ඉතා ම පහසුවෙන් භාෂා ගණනාවක් ගෙදර සිට ඉගෙන ගැනීමේ හැකියාව පවතිනවා. [www.internetpolyglot.com](http://www.internetpolyglot.com/?ref=chanuka.me) වෙබ් අඩවිය හරහා භාෂා 21 ඉගෙන ගැනීමේ පහසුකම සැපයෙනවා. Busuu සහ Duolingo වැනි app හරහාත් ඔබට ඉතා ම පහසුවෙන් භාෂාවන් ගණනාවක් ඔබේ smart දුරකතනයෙන් ම ඉගෙන ගැනීමේ හැකියාව පවතිනවා.

![](https://chanuka.me/content/images/2026/10/in-demand-skills-to-learn-online--2.gif)

විවිධ රටවල භාෂා ව්‍යාප්තිය පෙන්වන රූප සටහනකි- meetingsnet.com

## **සෞඛ්‍යාරක්ෂාව හා ඖෂධ**

වර්තමාන ලෝකයේ ජිවත් වෙන අවස්ථාවල දී ඔබට සෞඛ්‍ය හා ඖෂධ පිළිබඳ යම් ආකරයක දැනුමක් තිබීම අතිශයින් ම වැදගත් කාරණයක් බවට පත් වී තිබෙනවා. යම්කිසි හදිසි අවස්ථාවක දී ඔබ ක්‍රියා කළ යුතු ආකාරය හා ලබා දිය යුතු ප්‍රථමාධාර ගැන දැනුම ඔබට අද වන විට අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න පුළුවන්. මේ හරහා ඔබට, ඔබේ ජිවීතය හෝ තව කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට ලැබෙන හැකියාව ඉහළ යි. අද වන විට Khan Academy වැනි ආයතන ඔබට එදිනෙදා ජිවිතයේ වැදගත් වන ප්‍රථමාධාර මෙන්ම ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ ව්‍යුහය පිළිබඳවත් තරමක් ගැඹුරු ලෙස මෙන්ම අන්තර්ජාතික ව පිළිගත් ලෙස විග්‍රහයන් සිදු කරනවා. එමෙන්ම youtube හරහා ඔබ දැනුම සොයන්නෙක් නම් සරල ව ම අවශ්‍ය දේ පිළිබඳ ව search කිරිම මඟින් ඔබට ඕනෑ තරම් ප්‍රථමාධාරයන් ගෙන දැන ගන්නට පුළුවන්. එමෙන්ම, ඔබ භාවිතා කරන බෙහෙත් වර්ග පිළිබඳ වැඩි දුර කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් [www.drugwatch.com](http://www.drugwatch.com/?ref=chanuka.me) වැනි වෙබ් අඩවිවලින් ඒ වෙත පහසුකම් සපයනවා.

![](https://chanuka.me/content/images/2026/10/in-demand-skills-to-learn-online--3.jpg)

වර්තමාන ලොකයේ සෞඛ්‍ය හා ඖෂධ දැනුම අතිශය වැදගත් වේ- optimizeottawa.com

## **ග්‍රැෆික් නිර්මාණකරනය**

අද වන විට ලෝකය තුළ වැඩි ම ප්‍රවණතාවක් පවතින ක්ෂේත්‍රයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Freelancer කෙනෙකු ලෙස කටයුතු කිරිමට හැකි වෘත්තියක් ලෙස මෙය ලංකාව තුළ මෙන්ම, ලෝකය තුළත් පිළිගැනීමට ලක් වී තිබෙනවා. ඔබට නිර්මාණශීලී ලෙස හිතන්නට, විවිධ නිර්මාණයන් කරන්නට හැකි නම් ඔබට යෙදෙන්නට සුදුසු ම රැකියාවන් අතරට මෙය අනිවාර්යයෙන් ම එක් වෙනවා. අද වන විට මේ පිළිබඳ ඉගෙන ගැනීමට ඔබට බොහෝමයක් වෙබ් අඩවි තිබෙනවා. නොමිලයේ සහ ගෙවිම් සිදුකරමින් ඉගෙන ගන්නට හැකි [www.udemy.com](http://www.udemy.com/?ref=chanuka.me) එයට හොඳම උදාහරණයක්. ඒ වගේ ම මේ විෂයය ගෙන වගේ ම හැකියාව දියුණු කර ගැනීම ගෙන ඒ වගේ ම භාවිත කරන මෘදුකාංග පිළිබඳ ව ඕනෑ තරම් youtube tutorials හොයා ගැනීමට හැකියාව තිබෙනවා. sofware එකක් open කිරීමේ සිට සරල ව ම ඔබට පහසුවෙන් ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා. සමහරක් මෘදුකාංග නිපදවන සමාගම් තමන්ගේ පාරිභෝගිකයන් වෙත tutorials සපයනවා. උදාහරණයක් ලෙස adobe සමාගමේ youtube channel එක හරහා විශාල දැනුමක් ලබා ගන්න ඔබට පුළුවන්.

![](https://chanuka.me/content/images/2026/10/in-demand-skills-to-learn-online--4.jpg)

අද වන විට ලෝකය තුළ වැඩි ම ප්‍රවණතාවයක් පවතින ක්ෂේත්‍රයක් ලෙස ග්‍රැෆික් නිර්මාණකරණය හැඳින්වේ- i.ytimg.com

## **Blockchain සහ CryptoCurrency**

[Blockchain සහ CryptoCurrency](https://archive.roar.media/sinhala/tech/insights/the-premier-bank-of-internet-bitcoin/?ref=chanuka.me) පිළිබඳවත් ඔබ අන්තර්ජාලය තුළ සැරිසැරීමේ දී දැනගෙන සිටිය යුතු ම අංගයක්. අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ගෙන කියූ සැණින් ඔබට මතක් වෙන්නේ වෙබ් අඩවියේ add දැමීම මඟින් මුදල් ඉපයීම ගැන වුණත්, අද වන විට ඒ කාරණය සම්පුර්ණයෙන් ම වගේ වෙනස් වී හමාරයි. 2017 අග වන විට ලෝකයේ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වුණු [Crypto Currency Mining ](https://archive.roar.media/sinhala/tech/featured/cryptocurrency-mining-cryptojacking/?ref=chanuka.me)අද වන විට තමන්ගේ පරිගණකයේ හෝ කුළියට ගත් වෙනත් පරිගණකයක සිදුකළ හැකියි (vps වැනි). ඒ වගේ ම මේ ගැන අවබෝධයක් සහිත ව සිටීමෙන් ඔබට අනවසරයෙන් ඔබේ පරිගණකයේ සිදුවන cryptojackingවලින් ගැළ වී සිටීමටත් හැකියාව ලැබෙනවා. අද වන විට අන්තර්ජාලයේ බොහොමයක් වෙබ් අඩවි මඟින් සිදුකරන මේ cryptojackingවලින් ඔබේ පරිගණකයේ වේගය අඩාල වීම් බොහෝ විට සිදුවෙනවා. අන්තර්ජාලය තුළ ඔබ සැරිසරන විට [adblock plus](https://chrome.google.com/webstore/detail/adblock-plus/cfhdojbkjhnklbpkdaibdccddilifddb?ref=chanuka.me) වැනි extension එකක් හෝ Ad වළකාලන ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් මෙයින් ඔබට ගැළවෙන්නට පුලුවන්.

![](https://chanuka.me/content/images/2026/10/in-demand-skills-to-learn-online--5.jpg)

[Blockchain and cryptocurrency](https://archive.roar.media/sinhala/tech/insights/the-premier-bank-of-internet-bitcoin/?ref=chanuka.me) පිළිබඳවත් ඔබ දැන සිටි යුතු ම අංගයක්- Ccn.com

මේ කුසලතාවයන් දියුණු කර ගැනීම හරහා ඔබට ලංකාව තුළ දී වුවත්, මුදල් ඉපයිමේ කටයුත්ත සිදුකළ හැක. [www.fiverr.com](http://www.fiverr.com/?ref=chanuka.me) වැනි අන්තර්ජාතික වෙබ් අඩවි ගණනාවක් ම මෙවැනි දේ සඳහා පවත්වාගෙන යනවා. ලංකාව තුළ දී වුණත් ඔබට ප්‍රධාන පෙළේ දැන්වීම් පළ කරන වෙබ් අඩවි මඟින් ඔබේ හැකියාවට සරිලන වෘත්තීන් සොයා ගත හැක. එසේ නොමැති නම් ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කරමින් විශාල පරිමාණයේ සමාගම් වෙත ඔබේ සේවාවන් ලබා දෙමින් ඔබට ම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට ද හැකියාව ඇත. ඔබට අවශ්‍ය වන්නේ කැපවීම සහ උනන්දුව පමණයි. නමුත් අන්තර්ජාලය යනු ඇත්ත තොරතුරු සේ ම ව්‍යාජ දේත් බොහෝ පිරී ඇති තැනක් ඒ නිසා එක මූලාශ්‍රයකට සීමා නොවී කරුණු තොරතුරු සෙවීම් සිදුකිරීම සිදුකළ යුතු වේ.

---

**මූලාශ්‍ර:**

- Entrepreneur.com
- Youtube.com
- Ccn.com
- optimizeottawa.com
- freerangestock.com