> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# තරු පන්තියේ රාත්‍රී ආහාර වේලක් අභ්‍යවකාශයේ දී ගන්න කැමති ද?
- URL: https://chanuka.me/like-to-have-dinner-in-the-space/
- Published: 2023-05-02T10:05:09.000Z
- Updated: 2023-05-03T08:05:40.000Z
- Description: මේ අපුර්ව වගේ ම මිල අධික අභ්‍යවකාශ චාරිකාවේ යෙදෙන ඔබට රසවත් ආහාරයක් භුක්ති විඳින ගමන් ලෝකයේ අනර්ඝත ම වයින් වීදුරුවක රස බැලීමේ අවස්වථාත් උදා වනවා.
- Author: Chanuka Nadun
- Tags: ට්‍රෙන්ඩින්, #roar-archive, Roar Archive

අභ්‍යවකාශ ගමන් යථාර්තයක්ව ඇති යුගයක Zephalto නම් සමාගම ඔවුන්ගේ නවතම අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය පිළිබඳව තතු හෙළි කර තිබෙනවා. අභ්‍යවකාශ සංචාර සඳහා අද්විතීය සහ සුඛෝපභෝගී ප්‍රවේශයක් සමඟින්, මෙම සමාගම 2025 වන විට අභ්‍යවකාශ බැලූනයක් භාවිත කරන පුද්ගලයකුට € 120,000 ($ 132,000) එනම් ආසන්න වශයෙන් ලංකාවේ මුදලින් රුපියල් මිලියන 42ක මුදලකට සඳහා පැය හයක අභ්‍යවකාශ සංචාරයක් අත් විඳීමට අවස්තාව ලබා දෙන්නට සුදානම් වෙනවා.

![](https://chanuka.me/content/images/2026/10/like-to-have-dinner-in-the-space--1.jpg)

Celeste නම් capsule එක සහිත Zephalto බැලූනය – zephalto.com

මීටර් 20 ක අභ්‍යන්තර කාමරයකින් සමන්විත Celeste නම් capsule එකේ මගීන් හය දෙනකුට සහ ගුවන් නියමුවන් දෙදෙනකුට ඉඩ ඇති පරිදි නිර්මාණය ව තිබෙනවා. මේ ගමනේදී ඔබව පෘථිවියේ සිට කිලෝමීටර් 25ක පමණ උසකට රැගෙන යාමට මේ බැලුනය සමත්. Zephalto නිර්මාතෘ සහ අභ්‍යවකාශ ඉංජිනේරු Vincent Farret d’Astiès ප්‍රකාශ කරන්නේ ඔවුන් කිලෝමීටර 25 ක උසක් තෝරා ගැනීමට හේතුව එය පෘථිවියේ වක්‍රය නිල් රේඛාවේ සිට ශුන්‍ය ගුරුත්වාකර්ෂණ අත්දැකීමක් නොමැතිව පහළින් වායුගෝලයෙන් 98% ක් සහිත අභ්‍යවකාශයේ අඳුරේ සිටින අපුර්ව අත්දැකීමක් ලබා ගත හැකි නිසා යි.

මේ අපුර්ව වගේ ම මිල අධික අභ්‍යවකාශ චාරිකාවේ යෙදෙන ඔබට රසවත් ආහාරයක් භුක්ති විඳින ගමන් ලෝකයේ අනර්ඝත ම වයින් වීදුරුවක රස බැලීමේ හැකියාවත් ලැබෙනවා. ඒවගේ ම පෘථිවියේ ඉන්න ඔබේ ළබැඳිදියන් සමඟ මේ අත්දැකීම බෙදා හදා ගන්නට ඔබට WiFi සම්බන්ධතාවක් ද හිමි වන බව ඔවුන් සඳහන් කරනවා.

හීලියම් හෝ හයිඩ්‍රජන් පුරවා ඇති මේ බැලූනය ඔබ ප්‍රංශයෙන් රැගෙන පිටත් වී, පැය එකහමාරකින් කිලෝමීටර 25ක් පමණ ඉහළට පැමිණේවි. පැය තුනත කාලයක් උපරිම උන්නතාංශයේ සැරිසරමින් හිඳ ඔබ ප්‍රංශ පොළවට ම නැවත ගෙන ඒමට නියමිත යි.

![](https://chanuka.me/content/images/2026/10/like-to-have-dinner-in-the-space--2.jpg)

Zephalto නිර්මාතෘවරු: Dirand (වම) සහ Farret d’AstièsSource (දකුණ) – zephalto.com

Airbus, Dassault, National Center for Space Studies (CNES) සහ European Space Agency (ESA) වැනි ලෝකයේ ඉහළ ම පෙළේ ගුවන් සන්නාම රැසකින් මේ ආයතනයට දැනට ම සහය පළ කර අවසන් බව තමයි ඔවුන් කියන්නේ. සියලු කටයුතු සම්පුර්ණ වූ පසු ඔවුන් වසරකට අභ්‍යවකාශ සංචාර 60ක් පමණ සංවිධානය කරන්නට සුදානම් ව සිටිනවා.

Zephalto ගුවන් නියමුවන් සමඟ පරීක්ෂණ පියාසැරි තුනක් දැනට ම සිදු කර අවසන්. කොහොම නමුත් ඔවුන් ඒ පියාසැරිවල දී සම්පූර්ණ උන්නතාංශයට ඒ කියන්නේ කිලෝමීටර් 25 සීමාවට ළඟා වී නම් නැහැ. 2023 දී පරීක්ෂණ පියාසැරියක දී අදාළ ඉලක්ක ගත උසට ළඟා වීමට අපේක්ෂා කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ. මේ තාක්ෂණය වාණිජකරණය වීමට වගේ ම ලෝකයේ සාමාන්‍ය මිනිසුන් අතරට ළඟ වෙන්නටත් තව කාලයක් ගත වේවි. කොහොම නමුත් දැනටම එක්සත් ජනපදය පදනම් කරගත් සහ ස්පාඤ්ඤ startup එකක් වන Zero2Infinity ද අභ්‍යවකාශ බැලුන් සංචාරය තරගයට තමන් ඉදිරිපත් වන බව සහ දැනටමත් ඔවුනුත් බැලුන පරීක්ෂණ සිදු කරගෙන යන බවත් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරනවා.

![](https://chanuka.me/content/images/2026/10/like-to-have-dinner-in-the-space--3.jpg)

අති සුඛෝපභෝගී Celeste නම් capsule එකේ 3D render එකක් – zephalto.com

මේ අභ්‍යවකාශ බැලූන චාරිකා රොකට් මත පදනම් වුණු අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයට වඩා ලාභදායී සහ තිරසාර විකල්පයක් වගේම යම් මට්ටමක අභියෝගයකුත් එල්ල කරනවා. Zephalto ප්‍රකාශ කරන්නේ පළමු Celeste ගුවන් ගමන අභ්‍යවකාශ යානයක් නිපදවන අඩුම CO2 ප්‍රමාණය සටහන් කරන බව යි. මුළු පැය 6 ගමන සඳහා CO2 26.6 kg පමණක් නිපදවෙන බවයි ඔවුන් කියන්නේ. රොකට් ගමන් වගේ නෙමෙයි Zephalto බැලූනයක පියාසර කිරීමට කලින් මගීන්ට සැලකිය යුතු පුහුණුවක් සහ වෛද්‍ය පරීක්ෂණ වැනි දේ අවශ්‍ය වෙන්නේ නම් නැහැ. ගුවන් යානයක පියාසර කිරීමට තරම් නිරෝගී ඕනෑම අයකුට අභ්‍යවකාශ බැලූනයකට ගොඩ විය හැකි බව සමාගම සඳහන් කරනවා.

Zephalto ගේ බැලූනයේ අභ්‍යන්තරය නිර්මාණය කර ඇත්තේ ප්‍රකට ප්‍රංශ නිර්මාණකරුවෙක් වන Joseph Dirand යි. අවමවාදී (minimalist) මෝස්තර ශෛලිය භාවිතයෙන් අපුර්ව අත්දැකීමක් වෙනුවෙන් නිර්මාණය සිදු කර තිබෙනවා. Michelin-star මට්ටමේ රසවත් ආහාර සපයන අතර ම මෙහි සම්පුර්ණ අත්දැකීම ම සංචාරකයන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමටත් ඉඩ ලබා දෙන්නට ඔවුන් සුදානම් ව ඉන්නවා.

![](https://chanuka.me/content/images/2026/10/like-to-have-dinner-in-the-space--4.jpg)

Zephalto බැලූනයේ මූලාකෘතියක් – zephalto.com

මේ අභ්‍යවකාශ ගමන සමහරකට තරමක් හැඟුම්බර එකක් විය හැකි නිසා ම අවශ්‍ය නම් ගමනට පෙර මනෝ වෛද්‍ය වරයෙක් හා සම්බන්ධ වෙන්නත් අදාළ පහසුකම් ඔවුන් සපයනවා. මේ සියල්ල ම ඔබ මේ චාරිකාවට ගෙවන ගාස්තුවට ඇතුළත්.

Zephalto ඔවුන්ගේ බැලූන සංචාරය හඳුන්වන්නේ රොකට්වලට වඩා බොහෝ සන්සුන් හා අඩු අවදානම් සහිත සංචාරක අද්විතීය අත්දැකීමක් ලෙස යි. මේ බැලූන මඟින් ආන්තික ගෝලය වෙත ළඟාවීම නම් අද ඊයෙක සිට ආරම්භ වුවක් නෙමෙ යි. විද්‍යාඥයන් සහ කාලගුණ පර්යේෂකයන් 1930 ගණන්වල සිට ආන්තික ගෝලයට ළඟා විය හැකි බැලූන භාවිත කර තිබෙනවා.

නිල වශයෙන් 1931 දී ස්විට්සර්ලන්ත ජාතික භෞතික විද්‍යාඥවරයෙක් වන ඔගස්ටේ පිකාර්ඩ් හීලියම් බැලුනයක සවිකර තිබූ කැප්සියුල එකකින් කිලෝමීටර් 16ක් ඉහළට නැඟී ආන්තික ගෝලයට ළඟා වූ පළමු පුද්ගලයා බවට පත් වූවා. එතැන් සිට අද වෙන තෙක් කාර්යමණ්ඩලයක් සහිත මෙවැනි බැලූන ළඟා ව ඇති උපරිම උස ලෙස සැලකෙන්නේ කිලෝමීටර 34ක්. නමුත් මේ වන තුරුත් මේ අපූර්ව අත්දැකීම වාණිජකරණය කරන්නට කිසිවකුට හැකි වුණේ නම් නැහැ.

![](https://chanuka.me/content/images/2026/10/like-to-have-dinner-in-the-space--from-the-window.jpg)

කැප්සියුලයෙන් පෙනෙන අභ්‍යවකාශය – zephalto.com

රසැති ආහාර, වයින් සහ නවීන මෝස්තරයේ අමතර සුඛෝපභෝගීත්වය සමඟින් සංචාරකයන් වෙත ගෙන එන අපූර්ව අත්දැකීම සහ ඉහළ ම අභ්‍යවකාශ සමාගම්වල පිටුබලය සහිත ව වසරකට ගුවන් ගමන් 60 ක් සඳහා සැලසුමක් සමඟින් පියාසර කරන්නට සැරසෙන Zephalto හි Celeste බැලූනය තිරසාර සහ ප්‍රවේශ විය හැකි අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ නව යුගයක් ආරම්භ කරන්නට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. මේ ගමන වාණිජකරණය කිරීමේ ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වෙයි ද?  
ඔබේ අදහස් අපිට පහළින් කියන්න අමතක කරන්න එපා.

---

**මූලාශ්‍ර:**

- Thenextweb.com
- Bloomberg.com
- Zephalto.com
- Lemonde.fr
- Business.lesechos.fr