> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# TikTok හරහා ව්‍යප්ත වන පාසල් වෙඩි තැබීම් තර්ජන
- URL: https://chanuka.me/school-shooting-threats-spreading-through-tiktok/
- Published: 2021-12-20T10:41:56.000Z
- Updated: 2021-12-20T10:41:56.000Z
- Description: අමෙරිකාව කියන්නේ පාසල් වෙඩි තැබීම් සඳහා එතරම් ආගන්තුක රටක් නොනෙවෙයි. සති කිහිපයකට පෙරත් එවැනි සිදුවීමක් අමෙරිකාව දෙසින් වාර්තා වුණා.
- Author: Chanuka Nadun
- Tags: ට්‍රෙන්ඩින්, america, tiktok, #roar-archive, Roar Archive

අමෙරිකාවේ ප්‍රදේශ ගණනාවක පාසල් හදිසියේ වසා දමා දරුවන් තාවකාලික ව නිවාසවල තබා ගන්නා ලෙස අමෙරිකාවේ ප්‍රධාන පාසල් ගණනාවක් පසුගිය 16 වැනිදා නිවේදනය කළා. ඒ 17 වැනිදා, පාසල් ගණනාවක් අළලා සිදු කිරීමට නියමිත පාසල් වෙඩි තැබීම් පිළිබඳ ව තර්ජන ගණනාවක් ගැන TikTok සමාජ ජාලය හරහා වේගයෙන් පැතිරයාමත් සමඟ යි.

බොහෝ පාසල් මේ තර්ජන ඉතා ම බරපතල ලෙස බාරගත් අතර ම පාසල් වහාම වසා දමා සිසුන්ට 17 වැනිදා නිවාසවල රැඳී සිටීමට අවස්ථාව ලබා දුන්නා. තවත් බොහෝ පාසල් ප්‍රමාණයක් පොලිස් ආරක්ෂාව පවා ලබා ගත්තා. අමෙරිකාව කියන්නේ පාසල් වෙඩි තැබීම් සඳහා එතරම් ආගන්තුක රටක් නොවීම මෙයට ප්‍රධානත ම හේතුව යි. මේ තර්ජන සිදු වීමට සති කිහිපයකට පෙරත් එවැනි සිදු වීමක් අමෙරිකාව දෙසින් වාර්තා වුණා. ඒ Oxford High School නම් පාසලක යි. 

![](https://chanuka.me/content/images/2026/10/school-shooting-threats-spreading-through-tiktok--1.jpg)

අමෙරිකානු නිවාස ආශ්‍රිත තුවක්කු නුහුරු දෙයක් නෙමෙයි -gunsmagazine.com

කොහොම නමුත් TikTok සමාජ ජාලය, මේ හා සබැඳි වීඩියෝවලින් පිරි ඉතිරි යන්නට පටන් ගත්තා. බොහෝමයක් දෙනා ජනප්‍රියතාව ලබා ගැනීම සඳහා මේ ගැන වීඩියෝ, ටික්ටෝක් සමාජ ජාලය වෙත එක් කරන්නට පටන් ගත්තා. මේ පිරී ඉතිරි ගිය වීඩියෝ අතරට “Guys stay safe; I’m staying home,” “Hope everybody is okay.” වැනි ප්‍රකාශ රැගත් වීඩියෝ වගේ ම තව කෙටි කාලයක් කාලයක් යන තෙක් ඔබ නිවසේ රඳවා ගන්න ඔබේ මාපියන් පොලඹවා ගන්න ලෙස ප්‍රකාශ කරමිනුත් උඩුගත වූ වීඩියෝ අන්තර්ජාලය කලඹවන්නට පටන් ගත්තා.

## තර්ජන පිළිබඳ පැතිර ගිය ආරංචිය

මේ පාසල් වෙඩි තැබීම් සිදුවීමට නියමිත දවසක් පිළිබඳ ව තර්ජනවල අඩංගු වුණත් සිදු වීමට නියමිත නිශ්චිත පාසල්වල හෝ ප්‍රදේශ පිළිබඳ ව දත්ත මෙහි අඩංගු වූයේ නැහැ. මේ හේතුව අමෙරිකානු පාසල් දරුවන්ගේ මාපියන් වගේම අමෙරිකානු ආරක්ෂණ නිලධාරීන් පවා කලබල කරවන්නට සමත් වුණා. ටික්ටෝක් සමාජ ජාලයෙන් මේ තර්ජන පිළිබඳ කරුණු මුලින් ම අනාවරණය වුණත් අනෙක් සමාජ මාධ්‍ය වගේ ම ලෝකයේ ප්‍රකට මාධ්‍ය ආයතන පවා මේ තර්ජන පිළිබඳ පැතිර යන ආරංචිය පිළිබඳ පුවත් ගෙන ආවා. 

කොවිඩ් වසංගත සමයෙන් පසු 2021 වසරේ පාසල් ආරම්භ වීමත් සමඟ ම අමෙරිකාවේ නැවතත් මේ ආශ්‍රිත සිදුවීම් වාර්තා වෙන්නට පටන් ගත්තා. 2021 වසරේ පමණක් අමෙරිකාව තුළ පාසල් වෙඩි තැබීම් 29ක් සිදු ව තිබෙනවා. මින් සිදු වූ ජීවිත හානි ප්‍රමාණය 11ක් ලෙසයි දැනට වාර්තා වෙන්නේ. දැඩි තුවාල වීම් 49කුත් වාර්තා වෙනවා. ආසන්ත ම පාසල් වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වෙන්නේ Michigan හි Oxford High School නම් පාසලක යි. Ethan නම් පහළොස් හැවිරිදි දරුවෙක් පාසල තුළ සිදු කළ විවෘත වෙඩි තැබීමයි ඒ. මෙයින් පාසලේ සිසුන් 4ක් දෙනකුට ජිවිත අහිමි වුණා. තවත් සිසුන් 6 දෙනෙක් සහ ගුරුවරියක් මේ සිදුවීමෙන් තුවාල ලැබුවා. වෙඩි තැබීම සිදු කළ සිසුවාගේ මව්පියන්ටත් විරුද්ධ ව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අමෙරිකානු අධිකරණය මේ වනවිට සුදානමින් සිටිනවා. 

## **තුවක්කු සහ අමෙරිකානු ළමාවිය** 

තුවක්කු ශ්‍රී ලාංකික අපට නිතර දෙවේලේ ගෘහාශ්‍රිත ව දකින්න නොලැබුණාට අමෙරිකානු පුරවැසියන්ට එය අතිශය සාමාන්‍ය දෙයක්. කුඩා දරුවන් සමඟ මෙවැනි භයානක ආයුධධ අනාරක්ෂිතව තැබීම විශාල ඛේදවාචක රැසකට මුල පුරනවා. ඔබ දන්නවද කුඩා දරුවන් මිලියන 4.6 ක් පමණ අනාරක්ෂිත ව ගබඩා කර ඇති තුවක්කු සහිත නිවාසවල ජීවත් වෙන බව. ආසන්න වශයෙන් අමෙරිකාව තුළ දිනකට දරුවන් ලෙස සැලකෙන වයස් කාණ්ඩයේ සිටින 8 දෙනෙක් [වෙඩි තැබීම් ආශ්‍රිත සිදුවීම්](https://efsgv.org/wp-content/uploads/2019CDCdata.pdf?ref=chanuka.me) නිසා මිය යනවා. අමෙරිකානු දරුවන් වැඩි වශයෙන් ම මිය යාමට හේතුවක් ලෙසත් මේ වෙඩි තැබීම් ආශ්‍රිත ක්‍රියාකාරකම් සැලකෙනවා, 

2019 වසරේ පමණක් දරුවන් 3300 කට අධික ප්‍රමාණයක් මේ නිසා මිය ගිහින් තිබෙනවා. මේ සිදුවීම්වලින් 68% පමණ ප්‍රමාණයක් තුවක්කු ලබා ගෙන තිබෙන්නේ නිවසින් හෝ සමීප සම්බන්ධතා පවත්වන කෙනකු ගෙන්. ලෝකය ම ලොක් ඩවුන් සමයක පවතිද්දීත් අමෙරිකාව තුළ පමණක් තුවක්කු මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් විකිණී තිබෙනවා. ඒ වගේම සෑම කුඩා දරුවන් සිටින පවුල් තුනකින් එකක් සතුව අවම වශයෙන් එක තුවක්කුවක් හෝ තිබෙන බවත් සමීක්ෂණවලින් වාර්තා ව තිබෙනවා. ඒවගේම තුවක්කු මෙලෙස කුඩා දරුවන් ආශ්‍රිත ව තැබීම නිසා ඒවායින් කුඩා දරුවන් සිය දිවි නසාගැනීමේ විශාල සම්භාවිතාවක් තිබෙන බවත් හඳුනාගෙන තිබෙනවා. 

![](https://chanuka.me/content/images/2026/10/school-shooting-threats-spreading-through-tiktok--2.jpg)

පාසල් වෙඩි තැබීමකදී හැසිරිය යුතු ආකාරය ගැන පුහුණුවක් – theguardian.com

පසුගිය 17 වෙනිදා දිනය අමෙරිකාව ම යම් මට්ටමකට භීතියෙන් සහ අවිනිශ්චිත බවකින් ඇළලී ගිය දිනයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. කොහොම නමුත් 17 වැනිදා සවස් භාගය වන තෙක් ම පාසල් ආශ්‍රිත ව කිසිදු කලබලකාරී තත්ත්වයක් වාර්තා නොවීම කාගේත් අස්වැසිල්ලට හේතු වුණා. එදින ම TikTok සමාජ ජාලය මේ අනතුරු ඇඟවීම් සහ සිදුවිය හැකි කලබල කාරී වාතාවරණය පිළිබඳ අඩංගු වීඩියෝ විශාල ප්‍රමාණයක් තම සමාජ ජාලය තුළින් ඉවත් කරන්නට උත්සුක වුණා. මේ වෙද්දී මේ සිදුවීමට අදාළ ව ටික්ටෝක් වීඩියෝ තර්ජන අන්තර්ජාලයට මුදාහැරීම පිළිබඳ සැක පිට වයස අවුරුදු 14ක දෙදෙනක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

අවාසනාවන්ත පාසල් වෙඩි තැබීම් සිදුවීමකට සති කිහිපයකට පසු ව නැවත මෙවැනි සිදුවීමක් පිළිබඳ භීතියක් හට ගැනීම සාමාන්‍ය දෙයක්. මේ සිදුවීම වැඩ වඩාත් උළුප්පා පෙන්වූ TikTok සමාජ ජාලය සහ අනෙක් ප්‍රධාන ගණයේ මාධ්‍ය ආයතනවලට විරුද්ධ ව බොහෝ විට ක්‍රියාමාර්ග නොගැනෙන බවට බොහෝ දෙනෙක් අවලාද නඟනවා. 

---

**මූලාශ්‍ර:**

- Efsgv.org
- Wikipedia.org
- Childrensdefense.org
- Nytimes.com
- Sandyhookpromise.org
- Theverge.com
- Npr.org
- Bloomberg.com
- Newsweek.com
- Bbc.com
- Hindustantimes.com