> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# වැඩ පහසු කරන වෙබ් අඩවි
- URL: https://chanuka.me/ten-usefull-websites-part-one/
- Published: 2019-09-09T11:53:33.000Z
- Updated: 2026-10-22T15:11:19.000Z
- Description: අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් සේවාවන් විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඔබට වැදගත් විය හැකි වෙබ් අඩවි කිහිපයක් පිළිබඳව යි.
- Author: Chanuka Nadun
- Tags: විස්තර වාර්තා, hacking, internet, world, #roar-archive, Roar Archive

2019 වසර වන විට අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි සංඛ්‍යාව බිලියන 1.94ක් පමණ වන බව වාර්තා වෙනවා. මේ වෙබ් අඩවි අතරින් අපේ වැඩ පහසු කරගන්න හැකියාව ලබා දෙන වෙබ් අඩවි තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. අන්තර්ජාලයේ නිතර දෙවේලේ සැරිසරණ ඔබට අතිශයින් වැදගත් වෙන වෙබ් අඩවි 10ක් පිළිබඳව යි මේ ලිපිය හරහා දිගහැරෙන්නේ.

## **Free Anonymous Temporary Email** 

අන්තර්ජාලය තුළ විවිධ සේවාවන් භාවිතා කරද්දී ඒවා වෙත sign in වීමට සිදු වෙනවා. නමුත් මේ sign in වීම හරහා ඔබට ඒ සේවාවේ විවිධ email පණිවිඩ වැනි දේ වගේම විවිධ ප්‍රචාරණ email ආදිය පැමිණෙන්නට බොහෝ ඉඩ කඩ තියෙනවා. මේ සේවාව ඔබ භාවිතා කරන්නේ එක වරකට පමණක් නම් එවැනි email පණිවිඩ තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරී විද්‍යුත් ලිපිනයන් වෙත පැමිණීම කරදරයක්. මෙයට හොඳම විසඳුම නම් තාවකාලික විද්‍යුත් ලිපිනයක් භාවිතා කිරීම යි. මේ වගේ සේවාවන් සපයන වෙබ් අඩවි ගණනාවක් තියෙනවා. [10MinuteMail ](https://10minutemail.com/10MinuteMail/index.html?ref=chanuka.me)කියන්නේ එවැනි සේවාව සපයන එක් වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය හරහා විනාඩි 10කට පමණ තාවකාලික විද්‍යුත් ලිපිනයක් සකසා දෙනවා. එය කල් ඉකුත් වෙන තෙක් එය හරහා වැඩ කරගන්න ඔබට හැකියාව තියෙනවා. 

![](https://chanuka.me/content/images/2026/10/ten-usefull-websites-part-one--1.png)

10 Minute Mail සේවාව

## **විකල්ප සේවාවන් සොයාදෙන AlternativeTo**

මුදල් ගෙවා ලබා ගත යුතු මෘදුකාංග සහ සේවාවන් බොහොමයක් අප භාවිතා කරන්නේ cracked මෘදුකාංග (චෞර මෘදුකාංග) විදිහට යි. එය නීතියට අනුව දඬුවම ලැබිය හැකි වරදක්. ඉතින් එසේ එම සේවාවන් සහ මෘදුකාංග භාවිතා නොකර, ඒ වෙනුවට වෙනත් විකල්ප සේවාවක් භාවිතා කරන්නට ඔබට හැකියාව මේ වෙබ් අඩවිය හරහා ලැබෙනවා. [alternativeto](https://alternativeto/?ref=chanuka.me) නමින් හැඳින්වෙන මේ වෙබ් අඩවිය හරහා ඔබට මුදල් ගෙවා ලබා ගන්න බොහොමයක් මෘදුකාංගවලට විකල්ප මෘදුකාංග සොයාගන්න වගේම බාගත කරගන්නත් මඟපෙන්වීම සිදු කරනවා. ඒ වගේම ඒ මෘදුකාංගය භාවිත කරන්නන්ගේ reviews පවා මේ වෙබ් අඩවිය හරහා බලාගන්න ඔබට පුළුවන්. 

![](https://chanuka.me/content/images/2026/10/ten-usefull-websites-part-one--2.png)

විකල්ප සේවාවන් සොයාදෙන AlternativeTo

## **ඉගෙනගන්නවා නම් මෙන්න තැන: Free Online Courses**

පන්ති කාමරයකට සීමා වී සිදු කරන ඉගෙනගැනීම් මේ වන විට අභාවයට යමින් පවතිනවා. ඔබට අවශ්‍ය සියලු දේ එසැනින් ඔබ අසලට ගෙන එන අන්තර්ජාලය හරහාම ඔබට ඉගෙනගැනීම් කටයුතු වඩාත් පලදායි ලෙසින් සිදු කරගන්නට දැන් අවස්තාව තියෙනවා. E- Learning / web learning / Web teaching වගේ සංකල්පයන් අද ලෝකයේ භෝ රටවල් භාවිතා කෙරෙනවා. මේ වෙද්දී ලංකාව තුලත් යම් මට්ටමකට ආන්තර්ජාලය භාවිතයෙන් දුරස්ථව සිදු කෙරෙන ඉගෙනගැනීම් සහ ඉගැන්වීම් පිළිබඳව ප්‍රචලිත වෙමින් පවතිනවා. නමුත් මෙවැනි සේවාවන් ලබා ගන්න ඔබට යම් මුදලක් ගෙවන්න සිදු වෙනවා උදාහරණයක් විදිහට [udemy.com](https://www.udemy.com/?ref=chanuka.me) හඳුන්වන්න පුළුවන්. මෙහි ඉතා සීමිත cources ප්‍රමාණයක් නොමිලයේ ලබාගන්න හැකියාව තිබුණත් අනෙක් cource ඉගෙනීමට යම් මුදලක් ගෙවන්නට ඔබට සිදු වෙනවා. මිට වෙනස්ව ඉතාම අඩු මුදලකට සහ නොමිලයේ විවිධ අංශයන් යටතේ ඉගෙනීමට හැකි වෙබ් අඩවියක් [khanacademy](https://www.khanacademy.org/?ref=chanuka.me). ඕනෑම වයසක පුද්ගලයෙකුට මේ හරහා සිය ඉගෙනීමේ කටයුතු සිදු කරගන්නට හැකියාව තියෙනවා. මේ වෙබ් අඩවිය හරහා මාපියන්ට වුවත් parenting වැනි මාතෘකා පිළිබඳ දැනුම ලබාගත හැකියි. 

![](https://chanuka.me/content/images/2026/10/ten-usefull-websites-part-one--3-1-.png)

**ඉගැන ගන්නවා නම්** khan academy

## **Fake Reviews හොයන Fakespot** 

අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවාවන් මිල දී ගන්න පුද්ගලයින්ගෙන් 95% දෙනා ඒවායේ ඇති Reviews මත තමයි මේ භාණ්ඩය මිල දී ගන්නවා ද නැද්ද යන්න තීරණය කරන්නේ. නමුත් අද වෙන විට යම් යම් වෙළෙඳුන් විසින් විවිධ bot වර්ග වැනි මෘදුකාංග භාවිත කරමින් ව්‍යාජ reviews නිර්මාණය කරමින්, තමන්ගේ භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරනවා. මෙවැනි ව්‍යාජ රිවිව්ස් හෙළි කරන වෙබ් සේවාවක් තමයි [fakespot](https://www.fakespot/?ref=chanuka.me) කියන්නේ. බොහෝ දෙනෙක් සුලභව භාවිතා කරන amazon, bestbuy, steam, sephora වැනි වෙබ් අඩවි ගණනාවකට මෙය සහාය දක්වනවා. ඔබට කරන්න තියෙන්නේ ඔබ මිල දී ගන්නා භාණ්ඩයේ link එක මෙහි search bar එක මත paste කිරීම පමණ යි. එවිට ඒ වෙබ් අඩවිය මඟින් භාණ්ඩය A සිට F දක්වා rate කිරීමකට ලක් කරනවා.

![](https://chanuka.me/content/images/2026/10/ten-usefull-websites-part-one--4.png)

Fake Reviews හොයන Fakespot

## **Filesවල සහ වෙබ් ලිපින වල වයිරස සොයා දෙන Virustotal**

වෙබ් ලිපිනයක් හෝ file එකක ඇති වයිරසයන් ඉතාම පහසුවෙන් හඳුනාගන්නට පහසුකම් සලසන වෙබ් අඩවියක් ලෙසින් **Virustotal** වෙබ් අඩවිය හඳුන්වන්නට පුළුවන්. ඔබට අවශ්‍ය file එක වෙබ් අඩවිය වෙත upload කිරීම හරහා එහි වයිරස තිබේ ද යන්න සොයාගැනීමට හැකියි. ඒ වගේම විවිධ වෙබ් ලිපිනයන්වල වයිසරයන් ඇතිදැ යි සොයා ගන්නත් මේ වෙබ් අඩවිය ඔබට උපකාරී වෙනවා. වයිරස ඇති බව හෝ අනතුරුදායක බව virustotal මඟින් දැනුම් දුන්නොත්, අදාළ වෙබ් අඩවිය මඟහරින එක නුවණට හුරු යි.

---

**මූලාශ්‍ර:**

- [10minutemail.com](https://10minutemail.com/10MinuteMail/index.html?ref=chanuka.me)
- [alternativeto](https://alternativeto/?ref=chanuka.me)
- [khanacademy.org](https://www.khanacademy.org/?ref=chanuka.me)
- [fakespot.com](https://www.fakespot.com/?ref=chanuka.me)
- [udemy.com](https://www.udemy.com/?ref=chanuka.me)
- Youtube.com