> ## Content Index
> Fetch the complete content index at: https://chanuka.me/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# WannaCry පරිගණක වයිරසය නැවැත්වූ වීරයා අත්අඩංගුවට
- URL: https://chanuka.me/wannacry-kronos-malware-guilty-plea/
- Published: 2019-05-02T10:10:24.000Z
- Updated: 2019-05-02T10:10:24.000Z
- Description: Computer hacking සහ conspiracy පිළිබඳ චෝදනා මත ප්‍රකට පරිගණක ආරක්ෂක පර්යේෂකයෙකු සහ WannaCry ransomware නැවැත්වීමට කටයුතු කළ මාකස් හචින්ස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
- Author: Chanuka Nadun
- Tags: ප්‍රවෘත්ති සහ වාර්තාමය, #roar-archive, Roar Archive

2017 WannaCry[ ransomware පරිගණක වයිරස](https://chanuka.me/latest-ransomwares-and-how-to-avoid-it/) නැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කළ මාකස් හචින්ස් නමැති පරිගණක ආරක්ෂක පර්යේෂකයා computer hacking සහ conspiracy පිළිබඳ චෝදනා දෙකක් සඳහා වැරදිකරු බවට පත්ව තිබෙනවා.

ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික පරිගණක ආරක්ෂක පර්යේෂකයෙකු වූ හචින්ස් ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණේ, රටවල් 150 පරිගණක 75,000කට පමණ පැතිර පැවති භයානක WannaCry[ ransomware ](https://chanuka.me/latest-ransomwares-and-how-to-avoid-it/)පරිගණක වයිරසයට killswitch එකක් සොයා ගැනීමට ස්වාධින පරිගණක ආරක්ෂක පර්යේෂකයෙකු ලෙස ලබාදුන් දායකත්වය, සහ එය අඩපණ කිරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ පුද්ගලයෙකු නිසාවෙනුයි. නමුත් පසුගිය දිනෙක ඔහු වෙත එල්ල වූ චෝදනා 8න් දෙකකට ඔහු වැරදිකරු බවට පත්වූ අතර, අනෙක් චෝදනා නිෂ්ප්‍රභා කෙරුණා. මේ චෝදනා අතර, Malware සහ ආරක්ෂණ පර්යේෂකයෙකු ලෙස තම නාමය රඳවා ගනිමින් කටයුතු කිරීම අරමුණු කරගෙන හානිදායක Malware නිර්මාණය කිරීමත් ඇතුළත්. කෙසේ වෙතත් මේ පිළිබඳ [විශේෂ ප්‍රකාශයක් ](https://www.malwaretech.com/public-statement?ref=chanuka.me) සිය නිල වෙබ් අඩවියේ තබමින් හචින්ස් සඳහන් කළේ තමා අතින් වූ වැරදි පිළිබඳව පසුතැවෙන බවත්, ඒ සඳහා පුර්ණ වගකීම බාරගන්නා අතර තමාගේ හැකියාවන් භාවිතා කරමින් පෙර පරිදිම malware attacksවලින් පොදු ජනතාවගේ ආරක්ෂාවට කැපවෙන බව යි.

![](https://chanuka.me/content/images/2026/10/wannacry-kronos-malware-guilty-plea--1.jpg)

නිල වෙබ් අඩවියේ සඳහන් ප්‍රකාශය- malwaretech.com

ZDNet වෙබ් අඩවිය ලබාගත් [උසාවි ලේඛන](https://www.scribd.com/document/406846769/MalwareTech-Guilty-Plea?ref=chanuka.me) අනුව ඔහු වෙත වූ චෝදනා අටෙන් වැරදිකරු වූ චෝදනා දෙක සඳහා වසර 5ක් දක්වා සිර දඬුවමක්, ඇමරිකානු ඩොලර් 250,000ක දඩ මුදලක් හෝ දෙකටම යටත්වීමට ඔහුට සිදුවේවි. Kronos සහ UPAS-Kit නම් බැංකුවලට ප්‍රහාර එල්ලවෙන malware නිර්මාණය කිරීම, සහ 2015 වසරේ තවත් දෙදෙනෙකු සමග එක්ව හානිදායක malware එකක් නිර්මාණය කිරීම සහ ඒ පිළිබඳව ප්‍රචාරණය ඔහුට විරුද්ධව ඇති ප්‍රබලම චෝදනා වෙනවා.

අත්අඩංගුවට පත්වූ හචින්ස් ඇප මත නිදහස් කර ඇති අතර, මේ වන විට ඔහු නඩු විභාගය තෙක් ලොස් ඇන්ජලිස්හි වාසය කරන බව තමයි වාර්තා වෙන්නේ. පසුගිය කාලය පුරාවට ඔහු පරිගණක ආරක්ෂණය වෙනුවෙන් සිදු කළ මෙහෙය නඩු විභාගයේ තීන්දුවට වක්‍රව හෝ බලපෑම් කරනු ඇති බව යි බොහෝ දෙනෙකුගේ මතය. මේ වන විට ඔහුට කිසිදු සේවා දායකයෙකු සමග කටයුතු කිරීම තහනම් කර තිබෙනවා.

---

**මූලාශ්‍ර:**

- Theverge.com
- Zdnet.com
- Scribd.com
- Malwaretech.com