Skip to content

ජංගම දුරකතන ඇමතුම්වලින් මුදල් ගරන Scam රැලි

කාලයෙන් කාලයට විවිධාකාර මුල්‍ය වංචා සිදු කරන පුද්ගලයන් ගැන වගේම එවැනි Scam රැලි ගැනත් අපිට අහන්න ලැබෙනවා. මේ එවන් තවත් වංචාවක් ගැන යි.

Chanuka Nadun

1 min read

ජංගම දුරකතන ඇමතුම්වලින් මුදල් ගරන Scam රැලි
මුදල් ගරන Scam - Malwarebytes.com

Contents

1 min readBack to top

කාලයෙන් කාලයට විවිධාකාර මුල්‍ය වංචා සිදු කරන පුද්ගලයන් ගැන වගේම එවැනි Scam රැලි ගැනත් අපිට අහන්න ලැබෙනවා. ඔබටත් මේ වගේ ඇමතුම් ආවොත් එවැනි වංචාවලින් ගැලවෙන්නේ කොහොමද කියන එකයි මේ ලිපියේ අරමුණ. බොහෝ විට මෙවැනි Scam සිදු වෙන්නේ ශ්‍රී ලංකාවේ නම් ඔබ යම් මුදලක් දිනා ඇති බව සඳහන් කරමිනු යි. මේ වැනි වංචාවලට බොහෝ විට කුප්‍රකට social engineering වැනි ක්‍රමවේද භාවිත වෙනවා. 

සරලවම කිව්වොත් යම්කිසි පුද්ගලයන් කණ්ඩායමකගෙන් හෝ පුද්ගලයකුගෙන් අවශ්‍ය යම් දෙයක් ලබා ගැනීම සදහා ඔවුන් ඔහුට – ඇයට මනෝවිද්‍යාත්මකව බලපෑම් කිරීම මේ විදිහට හඳුවන්න පුළුවන්.  ශ්‍රී ලංකාව ඇතුළත බහුලව දකින්නට ලැබෙන්නේ දුරකථන සන්නාම හෝ ශ්‍රී ලංකාවේ – ලෝකයේ ජනප්‍රිය සන්නාම නාම භාවිත කරමින් සිදු කෙරෙන වංචා.

උදාහරණයක් විදිහට ඔබට යම් ප්‍රකට සන්නාම නාමයකින් ත්‍යාගයක් හිමි වී ඇති බවත්, එය ලබා ගැනීමට නම් ඔබ ඔවුන් සඳහන් කරන අංකයකට විශාල මුදලක Reload එකක් හෝ වෙනත් මුදල් හුවමාරු ක්‍රමවේදයකින් මුදල් එවන ලෙසත් කියමින් මේ වංචා සිදු වෙනවා. මේ වංචාවලට බොහෝ විට අහු වෙන්නේ වැඩිහිටි ප්‍රජාව යි.  මේ ක්‍රමයන්ට අමතර ව, බහුවල තවත් ශ්‍රී ලංකාව දෙසින් අසන්නට ලැබෙන්නේ Wangiri scam යන නමින් හඳුන්වන ලෝකයේ අතිශය කුප්‍රකට මුදල් වංචා කරන ක්‍රමවේදයක් පිළිබඳව යි. 

නාඳුනන ඇමතුම්වලට උත්තර දෙන්නේ බලාගෙනයි – guim.co.uk

Wangiri scam කියන්නේ මොකද්ද?

Wangiri scam යන නම යෙදෙන්නේ ජපන් භාෂාවෙන් “One Ring Drop” කියන තේරුම එක්ක. මේක මුලින් ම සිද්ධවුණා කියලා පිළිගන්නේ ජාපනයේ. ඒ නිසා තමයි ජපන් නමක් මේකට යෙදුණේ. වෙනත් රටකින් එන ඇමතුමක් අපට answer කරන්න වෙලාවක් ලබා නොදී විසන්ධි වීමක් සිදුවෙනවා(missed call).  මෙහෙම තමයි මේක ආරම්භ වෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නේපාලය වැනි රටවල්වලට තමයි වැඩි වශයෙන් ම මේ වගේ scamsවලට අහුවෙලා තියෙන්නේ. මේක සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. බොහෝ විට මේ සඳහා භාවිත වෙන්නේ premium-rate numbers. මේ අංක සඳහා අපි ගන්න ඇමතුම්වලට සාමාන්‍ය මුදලට වඩා මුදලක් අය වෙනවා. ඒ වගේ ම කොටසක් ඒ අංකයේ හිමිකරුටත් ලැබෙනවා. 

මේ අංක සඳහා ගන්න ඇමතුම්වලට ඩොලර් 40ක් 50ක් පමණ මුදලක් වුණත් අයවෙන්න පුළුවන්. නිකමට හිතලා බලන්න ඔබේ දුරකථන සේවා ප්‍රවර්ධකයාගෙන් ඔබට එන ඇමතුම් හැම එකට ම මුදලක් ඔබට ගෙවනවා කියලා, ඔබ කරන්නේ පුළුවන් තරම් ඇමතුම් ඔබේ අංකය වෙත ගෙන්වා ගැනීම නේද? මොකද, ඒ හරහා ඔබට පුළුවන් පහසුවෙන් මුදල් උපයන්න. මේක එක්තරා විදිහක සේවා ප්‍රවර්ධකයන් සහ අංකයේ හිමිකරුවන් අතර තියෙන ගිවිසුමක්. මතකද ඔබ රූපවාහිනී රියලටි වැඩසටහනකට SMS යවද්දී වැඩි මුදලක් අයවෙනවා ඔබේ සාමාන්‍ය SMS ගාස්තුවට වඩා? මේකත් අන්න ඒවගේ යම් එකඟතාවක්. එනිසා අඳුරන්නේ නැති වෙනත් රටක දුරකථන අංකයකින් ඇමතුමක් ආවොත් ප්‍රවේසමෙන් කටයුතු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. 

Wangiri scam ශ්‍රී ලංකාව්? – Kiplinger.com

Gift card scams ශ්‍රී ලංකාවෙත්? 

ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රචලිත නැතත් අමෙරිකාව වැනි රටවල් බොහොමයක් භාණ්ඩ මිලදී ගන්න Gift card භාවිත කරනවා. මේවා භාවිත කරන පුද්ගලයන් රවටලා මුදල් ගරාගන්න විශාල මුල්‍ය වංචා ජාල ක්‍රියාත්මක වෙනවා. බහුල ව මේවාට සම්බන්ධ වෙන්නේ ඉන්දියානුවන් කියලා තමයි දැනට නම් දැනගන්න ලැබෙන්නේ.  විශේෂයෙන් අමෙරිකාව වගේ රටවල්වල රටවැසියන් ඉන්දියාව Scam Nation එකක් විදිහට හඳුන්වන්නේ මෙන්න මේ හින්ද යි.  අමෙරිකාව වගේ රටවල් වල වයස්ගත පුරවැසියන් තමයි බහුල ව මේ මුල්‍ය වංචාකරුවන්ගේ ප්‍රධානත ම ඉලක්කය වෙන්නේ.  මේ වැනි විශාල ජාල, වංචා සඳහා ම Call Centers පවා පවත්වාගෙන යනවා.  

විශේෂ පුහුණුවකින් අනතුරු ව තමයි මේ වංචාකරුවන් වැඩ ආරම්භ කරන්නේ.  මෙවැනි වංචා කරුවන් සුලබ ව භාවිත කරන ප්‍රධාන ක්‍රමවේද කිහිපයක් දැකගන්නට පුළුවන්. එයින් Tech Scam ප්‍රධානත ම තැනක් ගන්නවා. මේ හරහා වෙන්නේ ඔබට ප්‍රකට තාක්ෂණ සමාගමක සන්නාමයක් භාවිත කරමින් ඇමතුමක් ලබා ගන්න එක. ඉන් අනතුරුව ඔබේ පරිගණක පද්ධතිය යම් ආකාරයකට වයිරස හෝ හැකර් වරුන්ගේ ග්‍රහණයට ලක් ව ඇති බව ඔවුන් සඳහන් කරනවා. 

ඒ ගැටලු විසදන්න නම් මුදල් අවශ්‍ය බවත් ඔවුන් කියනවා. සෘජු ව මුදල් ලබා ගත්තොත් ඉතා පහසුවෙන් ඔවුන් අල්ලා ගන්න හැකි වෙන නිසා ඒ වෙනුවට Trace කිරීම ඉතා අපහසු Gift card හරහා ඔවුන් තම මුදල ලබා ගන්නවා. ඔබ මුදල් ගෙවන්න ප්‍රතික්ෂේප කළොත් ඔබේ පරිගණකයේ සියලු දත්ත මකා දමන බවට, ඔබව පොලිසියට අල්ලා දෙන බවත් ඔවුන් කියනවා. හැබැයි ඒ සියල්ල ම ඔබෙන් මුදල් ලබා ගන්න කරන රඟපෑම් පමණ යි. මේ සියලු රඟපෑම් සහ සුලබ ව තම ඉලක්ක වෙත ළඟා වෙන්න සහ පුද්ගලයන් මුදල් ගෙවීමට පොලඹවා ගන්නට විශේෂ පිටපත් පවා ඔවුන් භාවිත කරනවා.  

Scamවලට එරෙහිව

මෙවැනි Gift card Scamවලට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක කිරීම තරමක් අපහසු කාරණයක්. බොහෝ විට ගොදුරු වෙන පුද්ගලයා සහ වංචාකරුවා ඉන්නේ රටවල් දෙකක වීමත්, ඉන්දියාව වැනි රටවල් වල තිබෙන නීතිවල විශාල ගැටලු නිසාත් බොහෝ විට මේ වංචනිකයන් නීතියෙන් මිදිලා යනවා. එක කෝල් සෙන්ටර් එකක් වැහුණොත් ඉතා ඉක්මනින් ආයෙ ම වෙනත් නමකිත් එම ක්‍රියාවලිය ම සිදු වෙනවා.

මේ පිළිබඳව Gift Card නිකුත් කරන සමාගම් නම් විශාල තැකීමක් කරන බවක් පෙනෙන්නට නම් නැහැ.  කොහොම වුණත් මෙවැනි වංචනිකයන්ට විරුද්ධ ව තනි තනිව සටන් වදින පුද්ගලයන් ඕනෑතරම් අන්තර්ජාලයේ අපට දැකගන්න ලැබෙනවා. ඔවුන්ගේ කාලය කා දැමීමත්, අධික ලෙස තරහා ගස්වමින් ඔවුන්ට මෙහි නරක ගැන කියා දී ඔවුන් අධෛර්යමත් කරන්නත් අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් කටයුතු කරනවා. 

මෙවැනි ප්‍රාථමික මට්ටමේ Scamවලින් ගැලවෙන්නට නම් ඔබට අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය සමාජ දැනුමක් පමණ යි. මෙවැනි දිනුම් දීමක් වැනි දෙයක් පිළිබඳ ව ඔබටත් ඇමතුමක් ආවොත් වහාම ප්‍රධාන ආයතනය වෙත වෙනම ඇමතුමක් ලබාගෙන ඒ ගැන තහවුරු කරගන්න එක ඔබේ නුවණට හුරු යි. 

කියවන්න මේ හා සබැඳි ලිපියක් වන හැකර්වරුන් සතු බලගතුම ආයුධය: Social Engineering සහ hacking උපක්‍රම


මූලාශ්‍ර:

  • Cnet.com
  • Youtube.com
  • News.hitb.org
  • Three.co.uk
  • Quora.com